Wednesday, December 25, 2013

දවසක් තියේවිද ඉස්සර වගේ ...




කටු අන්නාසි පදුරු ඉදුණු එරමිණිය
හැංගි හොරා වෙලේ මහ නියරෙ
දන්ඩි පැටියටයි මඩ කනයටයි
ආදරෙන් වෙල් ඉපනැල්ලේ පිනුම් ගහපු
දවසක් තියේවිද ඉස්සර වගේ ...

ඔට්ටුවට ජිල් බෝල කජු ගහපු
දිවා රාත්‍රී ක්‍රිකට් තරග
පැණි අමුඩෙගෙ වත්තේ කාපරංක
ගල උඩ කජු පුහුලන් කඩන
දවසක් තියේවිද ඉස්සර වගේ ...

රත්තගේ කසිප්පු වරිය පෙරලපු
අප්පුට අහස් කූරු යවපු
හොරා පොලිස් වලින් ඩෙන්ගියව මඩවපු
හීනෙන් උණ බට තුවක්කු හදපු
දවසක් තියේවිද ඉස්සර වගේ ...

බාහු මාමගේ බොරු යුද්ධ කතා 
රවියගේ මල් ඔතන කතා 
ආසිරි බට්ට කියන බොක කතා 
පොඩි චූටියගේ මඩ කතා අහන්න
දවසක් තියේවිද ඉස්සර වගේ ...

නරි බෑනට ලෙන්චිනා අන්දවපු 
කාලගෝලට අරක්කු පොවපු 
බුලතෙට ගම්මිරිස් කවපු 
සීයගේ සරමෙ එල්ලිලා දුවපු 
දවසක් තියේවිද ඉස්සර වගේ ...

දන්සලට හොර පොල් කඩපු 
අවාරෙට පහන් දල්වපු 
හීනියට ළිදට පැනල නාගත්තු 
කළුවරෙත් නිච්චි දුන්නු 
දවසක් තියේවිද ඉස්සර වගේ ...

Monday, December 23, 2013

කහ ඉර හා මැරතන් දිවීම

         මුලින්ම ගල්කිස්සට එන්න බැරි වුනු එක ගැන ශෝකය ප්‍රකාශ කරලම පොස්ට් එකක් දැම්මනම් හොදයි කියල හිතුන.මඩ ප්‍රහාර ගල් ප්‍රහාර තාමත් වදිමින් පවතින නිසා අපි ඒව බල බල පොඩි ෆන් එකක් ගන්නව.හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනෙ.බලමු තව තව ඒව ඉස්සරහට කල එළි බහියි.

              පාසල් කාලෙ වෙච්ච නවනින්ගිරා වැඩක් ගැන තමයි අද පොඩ්ඩක් කියන්න යන්නෙ.දන්නවනෙ ඉස්කෝලෙ වෙන්නෙම ඔය වගේ දේවල්නේ.වසරක් ඉවර වෙලා තවත් වසරක් එනව කියන්නේ ඉතින් එක එක සැණකෙළියක්.මොකද ස්පෝර්ට් මීට්‌ කාලෙනෙ.ඔය දවස් එනකම් තමයි කව්රු කව්රුත් බලාගෙන ඉන්නෙ.මොකද පන්ති කට් කරගෙන එහෙමනෙ ඉතින් දවසම ඉන්නෙ.ඔය තියෙන ක්‍රීඩා අතරෙ මැරතන් එකටත් ලොකු තැනක් හම්බවෙනව.ලොකු පොඩි ඕනෙම කෙනෙක්ට මේකට සෙට් වෙන්න පුලුවන්නෙ.මේ කියන්න යන සිද්ධිය වුනේ අපි උසස් පෙළ හදාරන දවස් වල.එතකොට ඉතින් අපිනේ මුළු ඉස්කෝලෙම පාලනය කරන්නෙ.ඔව් ඉතින් අපි එහෙම හිතාගෙන හිටිය.දැන්නම් ඒ මෝඩ වැඩ ගැන මතක් වෙනකොටත් පිස්සු වගේ.ඒ මොන දේ කලත් අපි ඉස්කෝලෙ නම කැත කලේ නැහැ කියන එක ආඩම්බරෙන් කියන්න පුළුවන්.

            අපි දුම්රියෙන් පාසලට ගිය නිසා තුඩයයි මමයි විශ්වයයි මාරම ෆිට්.විශ්වය කියන්නෙ තුඩයලගේ පුංචිගේ පුතා.කොහොමහරි ඔන්න මැරතන් එක තියෙන දවසත් කිට්ටු වෙන්න වුණා.නිවාස වලින් වෙන වෙනම කට්ටිය සෙට් වෙනව දැන් දුවන එවුන් පස්සෙ යන්න.වාහන තියෙන වුන් වාහන අරගෙන එනව.කොහොමහරි අපිට සෙට් වුණේ ඉස්කෝලෙ ලග ඉදල දුවල එන සෙට් එකට ග්ලුකෝස් එහෙම දෙන්න.අපි තමයි ඉතින් ඕකෙන් බාගෙට බාගයක්ම කන්නෙ.ඕක ඉතින් මම හිතන්නේ පොස්ට් එක කියවන හැමෝම කරලා ඇති.

අපේ ඉස්කෝලෙ ඉස්සරහ තියෙන්නෙ ලොකු හතර මං හන්දියක්.ඇත්තටම තුන්මන්හන්දී දෙකක් එක ලග තියෙන නිසා ඒක හරියට හතරමන් හන්දියක් වගේම තමයි.මැරතන් එක පටන් ගන්න කලින් මට පාරෙන් එහා පැත්තට යන්න උවමනාව තිබුනට අයෙත් ඉස්කෝලෙට යන්න වුණා අපේ නිවාසෙ කොඩිය ගේන්න.මම කොඩියත් අරගෙන අහපව් එන ටිකට අපේ සෙට් එක පාරෙන් එහා පැත්තට ගිහින් කොඩි වනනව.මටත් දැන් ඉන්න බැහැ.පුලුවන් තරම් ඉකමනට පාර ලගට ආව.ඔන්න එහා පැත්තෙ ඉදල විශ්වය කොල්ලෝ රොත්ත අස්සෙන් කෑ ගහනව මගේ නමත් කියල. 




## ඉක්මනට වරෙන් යකෝ මැරතන් එක පටන් ගන්න යන්නේ කියල.

      මමත් ඉතින් හාවක් හූවක් නැතිව අපු ගමන් පැන්න පාරෙන් අනිත් පැත්තට.

   ඔන්න එතකොට එකක් කියනව 

අන්න තොට පොලිසියෙන් කතා කරනව කියල.

         මමත් බැලුව අනිත් පැත්ත හැරිල මොකක්ද මේ වෙන්න යන්නේ කියල.පොලිස් මාම පන දාගෙන කහ ඉරෙන් ඉස්කෝලෙ ළමයින්ව අනිත් පැත්තට පන්නනවා.මම ලෝර්ඩ් පකීර් වගේ ඔහේ පාර පැනල.

       දෙපාරක් විසිල් ගහල පොලිස් මාම මට එන්න කිව්ව.දුන්න නේද මර දේශනයක්.ඔහොමද ඉස්කෝලේ ලොකු ළමයි හැදෙන්නෙ.තමුසෙලා ඔහොම කරනකොට කොහොමද පොඩි එවුන්ව හදන්නෙ.

ආයේ එහෙම කරන්නෙ නැහැ අංකල්.මම දැක්කේ නැහැ අංකල් ඉන්නවා.

කතන්දර වැඩක් නැහැ.අද දඩුවමක් දෙන්නම ඕනේ.හරි එහෙනම් කහ ඉර මතක් වෙන්නත් එක්ක පස් පාරක් පාර හරහ පයිනවා.

       ඊට පස්සේ වෙච්ච දේවල් මතක් වෙනකොටත් මට රෙදි නැතුව දුවන් හිතෙනව.පර දෙපැත්තේ වාහන ඔක්කොම නවත්තගෙන මම කොඩිය උස්සගෙන පස් පාරක්ම පාර හරහ පැන්න අෆ්ෆා.විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැහැ.ඔය අස්සෙ අපේ එවුන්ගෙන් මාරම ප්‍රතිචාර තමයි ලැබෙන්නෙ.මොකුත් නැහැ එකම හූවයි.පොඩි කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම හිනා වෙනව.මොන කරන්නද ඉතින් මස ගානක් යනකම් ඔය සීන් එකට අපේ එවුන් මාව කෑව තියාගෙන.

       මේ ලගකදී අපේ එකෙක් මට කෝල් කරන ගමන් දාපු කින්ඩි පරක් නිසා තමයි මට මේ පොඩි සීන් එක ලියන්න හිතුනෙ.මම ඉස්කෝලේ පටිය කාලේ රියනියාමක කරලත් තියෙනව.එතකොට ඉතින් උදේ හවස පීරියඩ් දෙකම කට් වගේ තමයි.ඒ දවස් වල මත එක්ක රිය නියාමක කරපු කැලුම,තුදය,රනය ආදරෙන් මතක් කරනව මේ වෙලාවෙ.කැලුම දැන් පොලිසියෙ ලොකු රාළහාමි කෙනෙක් වෙන්න ඔන්න මෙන්න.අනිත් වුන් දෙන්නම තාම මගේ වලේම තමයි.

Thursday, December 19, 2013

අන්තිමට මෙහෙම ලියන්න වුණා..

                    මේ දවස් වල ගොඩක් බ්ලොග්ස් වල ආදර අන්දර ගැන ලියවෙනව.ඕකත් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනව.මොකද ලංකාවෙ මිනිස්සුන්ට අමතක වෙන්න යන්නේ හරිම අඩු කාලයක්.මතකද දන්නේ නැහැ කාලයක් කොටුවෙ හාමුදුරුවො පිට කොටුවෙ හැමතැනම.දැන් ඒ හාමුදුරුවො ඉන්නවද කියන්න කව්රුත් දන්නේ නැහැ.මේ දවස් වල පිට කොටුවේ අහන්න තියෙන්නෙ අම්ම ගැන කියවෙන කවි ටික.ඇත්තටම ගොඩක් ලස්සනයි.මටත් ඇහැට කදුළු එනව ඒ කවි ටික අහනකොට.ඒ මොනව වුනත් බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ ධර්මය කවියට හරවන්න එපා කියලලු.ඇත්තද මන්ද මම එහෙම අහල තියෙනව.කොහොම කොහොමහරි සයිබරයටත් කාලෙන් කාලෙට එක එක මාතෘකා එනවා.එහෙම එන එක හොදයි.මොකද එතකොට කෙනාගෙන් කෙනාට අදහස් මොනවද කියල බලන්න පුළුවන්.

            ඉතින් මටත් අද හිතුන පොඩ්ඩක් ආදර අන්දර ගැන කතා කරන්න.ආදරේ ගැන කතා කරන්න ගත්තොත් ටිකක් බොන්නත් ඕනෙ.කට්ටිය සෙට් වුනාම තමයි ඉතින් ඔය වගේ කතා කියවන්නෙ.ආදරේ නොකරන කෙනෙක් ලෝකෙ නැතුව ඇති.දැන් අහන්න එපා එතකොට දෙහිවල සත්තු වත්තෙ ඇනකොන්ඩ එයාගෙ අදරවන්තයව ගිල්ලෙ ආදරේටද කියල.හි හි එහෙම වෙන්න බැරිත් නැහැ.මම ඉතින් ආදරේ ගැන හිතන විදිය ගැන මගේ බ්ලොග් එක කියවන අය ටිකක් හරි දන්නව ඇති.මගෙ ඉන්න හොදම යාළුවන්ට ආදරේ නිසා වෙච්ච දේවල් ටිකක් ලුණු ඇබුල් එහෙම දාල ලියන්න හිතුව.


         මචං උබල දන්නවනෙ මම චතුරිට කොච්චරනම් ආදරේ කලාද කියල.උබ අතේම මම ලියුම් කොච්චරනම් යවල තියෙනවද බං.නැද්ද ඔව් කියපන්කො යකෝ.බලපන් මම කොහොමද බන් විස්වාස කරන්නෙ මෙකි මෙහෙම කලා කියල.අවුරුදු හතරක් ලව් කරලත් මට මේකිව තේරුම් ගන්න බැරුව ගියා.දැන් ඔන්න වෙන එකෙක් එක්ක සෙට් වෙලාලු.බලපන්කො මම කොහොමද ඕව බල බල ඉන්නෙ.මමම හින්ද ඉන්නවා මිසක් වෙන එකෙක් නම් මෙලහකටත් පත්තරේ ලොකු අකුරෙන්ම නම දාගෙන.මම දන්නව බන් මගෙත් වැරදි තියෙනව.පොඩ්ඩක් සෙට් වෙන එක විතරනෙ බං අවුල.මොකද මම බඩු පස්සෙ යනවද?නැහැනෙ බං..චියර්ස් මචං.


               ඉතින් යකෝ උබ ඔහොම කියනවා මම කරගෙන හිටිය එක දැන් බදින්න යන්නෙ.ඒත් තාමත් මට කෝල් කරනව.මේ ලදී කතා කරල කියනව මට ඔයාගෙන් ළමයෙක් ඕනෙ කියල.මට හීන් දාඩිය දැම්ම යකෝ.හිතපන්කෝ ඉතින්.මම ඒකයි බන් ෆෝන් නම්බර් එකත් මාරු කලේ.මොන බෝලයක් පාත් වෙයිද කව්ද බන් දන්නෙ.මොකද මම ඉස්සර ඉදලම අහකින් යන නරිත් ඇදල අරගෙන නාවන එකානේ බං.මතකද ඉස්කෝලෙ දවස් වල..





                 දැන් ඉතින් එකා එකා තමන්ගෙ චරිතෙ තරගෙට ගාතනය කරගන්නව.මමත් ඉතින් උන්ගේ කටේ බලේටම වලට පැන්න.මොකද උන් මගෙ සීන් එකත් එහෙන් මෙහෙන් දන්නව.ඔය අතරේ කෙල්ලන්ටද මේ හා සමානවම විදවන්න ලැබෙන අවස්ථා බොහෝය.කොල්ලෙක් සතියක් ගෙදරින් පිට හිටියත් නාවල ගෙට ගන්න පුළුවන් ඒත් කෙල්ලන්ට එහෙම බැහැ කියල කියනව මම අහල තියෙනව.ඒ වචන ටික ඇතුලෙ තියෙන දේවල් කොච්චරනම් සධාරණද කියන්න මම දන්නේ නැහැ.දැන ගත්තත් මම සාදාරනීකරණය කරන්න යන්නේ නැහැ.මොකද තාමත් සමාජයේ ඉහලයි කියල හිතාගෙන ඉන්න වෙනම පැලැන්තියක් ඉන්න නිසා.


           ශ්‍රී ධන්ත ධාතුන් වසන්සේ මේ පුංචි රටට වැඩම කරන්න වුනෙත් කාන්තාවකගේ කෙස් වැටියේ හංගගෙන කියන එක රහසක් නෙවෙයිනෙ.එහෙව් වටිනාකමක් තියෙන කාන්තාවට දළදා පෙරහරේ අඩියක් තියන්නට ඉඩක් නැති එක ගැන මම පුද්ගලිකව පසුතැවෙනවා.මොකද එතන ඇත්තටම පොඩි අසාධාරණයක් තියෙන නිසා.මේ කථාවේ නිධාන කතාව මම දන්න ටික වැරදි ඇති.දන්නා කෙනෙක් ඉන්නවනම් සයිබරයට කියන එක වටිනව.




           දැන් ඉන්න කොල්ලො බල්ලො කියනවනෙ.හැමෝම එහෙම නැහැ.හුගක් එවුන් හිතාගෙන ඉන්නේ ඇන්න පැන්න කියන්නේ හොද වැඩක් කියල.හැබැයි පුතෝ ඔය අනින හොට පැටලුනු දවසට ජීවිත කාළෙම පටලගෙන තමයි ඉන්න වෙන්නෙ.මොකද තොපිලට වගේ නෙවෙයි කෙල්ලන්ට සමාජෙ ඊට පස්සෙ සලකන්නෙ මහා නපුරු විදියට.මොකද මේක තාම යුරෝපෙ නෙවෙයි තාමත් සිරි ලංකාව.තාත්ත නැති දරුවො කොච්චරනම් ඉන්නවද.ඒ අහිංසක පැටියට උප්පැන්නෙට මොකක්ද දාන්නෙ.මේ දේට කියන වචනේ හිතට එනවා ඇති කියල මම හිතනවා.


          සමාජෙත් තියෙනවනෙ එක එක ඉස්තර.ඉතින් ඔය ඉහලින්ම ඉන්න ඉස්තර වල ජීවත් වෙන මිනිස්සු හරිම වෙනස්.එදා ඉදලම ඒ විදියට හිටියනම් අවුලක් නැහැ කියමුකෝ.මේ එක පාරට සල්ලි ටිකක් අතගාල හරි බරි ගහල ආපු පලියට ඒ ඉස්තරේට වැටුන කියල තමයි ඉතින් සම(හරක්) හිතාගෙන ඉන්නෙ.ඉතින් මේ වගේ දේවල් නිසාත් ගොඩක් දුරට ප්‍රශ්න ඇති වෙනව.


          මොකද මම හොදට අදුනන කෙනෙක් ඉන්නව.මේ උදේ හවස හම්බවෙනවා.එයාටත් මේ වගේ දේකට මූණ දෙන්න වුනා.මොකද තාමත් ලංකාවෙ නොපෙන්නුවට කුල මල ප්‍රශ්නෙ ලොකුවට තියෙනවනෙ.නැත්ද කියල බලන්න පොඩ්ඩක් මංගල යෝජනා පත්තර කෑල්ලක් අරගෙන බලන්න.ඉතින් මෙයාටත් පොඩ්ඩක් ඉහල පැලැන්තියේ කෙනෙක් කසාද බදින්න වුණා.ප්‍රේම කරපු දෙන්නෙක් නිසා දෙන්නට දෙන්න එක තැනක හිටිය අපිට අපිව ඕනෙමයි කියල.අපිත් උපරිමෙන්ම සප් එක දුන්න.අන්තිමට කසාද බදින්න වුනේ නම පොඩ්ඩක් වෙනස් කරගෙන.පවුල් වලින් එයාලට වැටුන කොක්ක නිසා එහෙම කරන්න වුන කියල තමයි අපිට ආරංචි වුනේ.


         අද කියන්න ආවෙ වෙන දෙයක් අන්තිමට ලියවුනේ වෙනම කේස් එකක්.මෙහෙම පෝස්ට් එකක් දානකොට හිතට පොඩි බයකුත් එනව.මොකද තම අපි සයිබරයට අදුනිකයොනේ.අවුලක් වෙන එකක් නැහැ කියල හිතනව.තව පොඩි දෙයක් තියෙනව කියන්න මම මේ ලගදි බුකියෙදී දැක්ක.පත්තරේක මංගල යෝජනාවක් තිබුණ.ඒකෙත් මුලින්ම ලොකු කතා ටිකක් එහෙම කියල පලන්තියත් වටින් ගොඩින් ගහල රූමත් කාන්තාවක් කියලත් කියල තිබුන.හැබැයි අන්තිමට තියෙනව


     "සුළු වරදකින් දරුවෙක් සිටී කියල".

අනේ මන්ද මේවට මොනවා කියන්නද කියල..


Sunday, December 15, 2013

අතීතෙ අමතක කරන්න දන්න කෙනෙක් ඉන්නවදෝ

          මේ දවස් ටික ටිකක් හොදින් ගෙවුන කියල මටම හිතුන.මොකද හිතට ටිකක් සතුටුයි.මාස දෙකක පඩිය ඇනහිටලනේ තිබුනෙ.ඉතින් දෙකම එක පාර සෙට් වුන නිසා මගෙ වැඩ ටිකක් කරගත්ත.ඒත් ඊයෙ උදේ වෙච්ච වැඩක් නිසා දැන් එක එක ඒව හිතෙනවා.මොන මගුලක්ද මන්ද ඇත්තමයි.මෙන්න මේකයි උනේ ඇත්තටම පොඩි සීන් එකක්.

                 මගෙ ප්‍රථම ප්‍රේම කතාන්දරය ආයෙත් මතක් වෙන්න ගත්ත.මොකද මම දැක්ක ඊයෙ මාස ගානකට පස්සෙ මේ පැත්තෙ ඇවිත් ඉන්නව.මේ පැත්තෙ කිව්වෙ ඉතින් අපේ ගෙවල් පැත්තේ නෙවෙයි.වෙනද වගේම අදත් මම ඒ පැත්තට යන්නේ නැතුව වෙන පැත්තකින් යන්න ගියා.සමහරවිට එයා මාව දකින්න ඇති.අනේ මන්ද ඒක ඉතින් එයාගෙන්ම තමයි අහන්න වෙන්නේ.මොකද දවසක් මූනට හම්බවෙලත් අහක බලාගෙන ගිය කෙනෙක්නෙ.අනේ ඔන්න අපේ හිතෙනම් තරහක් නැහැ.ඉන්න තැනක හොදින් සතුටින් ඉන්නවනම් එච්චරයි.මොකද තිබුනත් තියෙන්නෙ දුකක් විතරයි.ඔය නිසා තමයි තාමත් ඔයදේවල් මතක් වෙනකොට මාව පිච්චිලා යන්නෙ.


                මොන දේ කිව්වත් සිරාවට ආදරේ කලාම අමතක කරන්න ටිකක් අමාරුයි.මමත් දැකල තියෙනව යාළුවන්ගේ බ්ලොග්ස් වල සමහර පොස්ට්.ඒව කියෙව්වම හිතෙනව මිනිස්සු මොනතරම් විදවනවද කියල.මම අන්තිමට කතා කලාම එය කිව්වෙ මම ඒ අමිහිරි අතීතෙ අමතක කරලා ඉවරයි.මට වෙන කරන්න දෙයක් නැහැ කියල.ඔය කතාවට කියනවනේ මමනම් දෙන්න ගියේ නැහැ ඒකිට එපානම් මට කොහොමත් එපා කියල.හැබැයි ඔහොම කියන හැමෝම ඔතනදි තමයි හොට පටල ගන්නෙ.මොකද මමත් පටල ගත්ත.මමත් ඉතින් කියන්න තියෙන ආදර වදන් ඔක්කොම දැම්ම.ඊට පස්සෙ තේරුණා හබල් ගගා හිටපු පොඩි පාරුවට දැන් හොද රුවලක් හම්බවෙලා කියල.

            මමනම් තාමත් හබල් ගානව.ඔය දවස් ටිකේ මට ඉතින් පිස්සු වගේ.දැන්නම් ලැජ්ජත් හිතෙනව අෆ්ෆා.කොච්චර කිව්වත් වැඩක් නැහැ ඕක වෙන්නම ඕනෙ.මේ දවස් වල කියවන පෝස්ටු වලින් සීයට හැත්තෑවක් විතරම කියවන්න තියෙන්නෙ ඔය මල ඉලව්ව ආදරේ ගැනමනේ අම්මප.ඉතින් යකෝ ඕකෙන් වෙන්නෙ ඇවිලෙන ගින්නට පිදුරු දාන එක නෙවෙයිද?ඒවුනාට අපිත් කිව්වෙ මමත් ආසාවෙන් කියවනව.අනිත් කොටසත් එනකම් බලගෙනත් ඉන්නව.ඔන්න ඕක තමයි ඇත්ත.කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියනවනෙ. 

                   ඉතින් ඒ අමිහිරි අතීතෙට මම පොඩි මිහිරි බවක් දාගෙන හිතින් සතුට විදිනව.ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනව අෆ්ෆා.විශේෂයෙන්ම කියන්න ඕනේ නැන්දම්මලනම් වැඩිය විස්වාස කරන්න යන්න හොද නැහැ.හැමෝම එක වගේ නැහැ.අවිස්වාස කරන්නත් හොදනැහැ ඉතින්.අර පොලිස් මහත්තුරුන්ගෙ බිරිදටවත් පොලිස් මහත්තයව විස්වාස නැහැ කියනවනෙ. 

Monday, December 9, 2013

වත්තෙන් වෙනස් වී නැවතත් පිටියට

             



          අපේ ගෙදර වත්තට අමතරව තව පොඩි වතු කෑල්ලක් තියෙනව අපේ ගෙවල් අහල පහලම.ඔය වත්තට අයිති කාරයො ගොඩක් ඉන්නව.කොටින්ම කියනවනම් ඒක අපේ නෙවෙයි වගේ.අපි ඒ වත්තට යන්නෙ ඔය තියෙන පොල්ගස් දෙක තුනක පොල් ගෙඩි ටික කඩාගෙන එන්න විතරයි.ඒකත් ඉතින් අපේ අම්මගෙ කටේ බලේට තමයි මම යන්නේ.පොල්කඩල අහල පහල ගෙවල් වලටත් මම ගෙඩියක් හරි දීල තමයි මම එන්නෙ.මොකද දැන් පොල් ගෙඩියකුත් රුපියල් පනහක් හැටක් විතර වෙනවනෙ.අපේ ඔෆීසියෙ ඉන්න D අයිය වතු සම්බන්ධව හොද අවබෝධයක් තියෙන කෙනෙක්.මොකද එයා කතා කරනකොට ඒක ඕනෙම කෙනෙකුට තේරෙනව.ගම්පලාත කොලබට කිට්ටු නැති උනාට එයාගේ අදහස තියෙන්නෙ කවදහරි එයාගෙ ගමට ගිහින් හොද වගාවක් එහෙම ගෙන ඉන්න එක තමයි.

           දවසක් අපි මේ ලගදි ඔය වතු ගැන කතා කර කර ඉන්නකොට මමත් කිව්වා අපිට මෙහෙම පොඩි වතු කෑල්ලක් තියෙනව හැබැයි මම එකෙ කෙහෙල් පැලයක්වත් තම හිටවල නැහැ කියල.මේ කතාව ඇහැව්ව විතරයි D අයියට මල පැනල මට බැනගෙන බැනගෙන ගියා.ඊට පස්සෙ කියනව 

     මල්ලි ඔය වත්ත හොදට හදල කරලා ගනින්.එතකොට උබට අතට තව පොඩි ගානක් ගන්න පුළුවන්.

        ඇත්ත තමයි ඉස්සරහට මිනිස්සුන්ට කන්න වෙන්නෙ තමන් හිටව ගන්න අල බතල තමයි.ඒව තමයි ඉතින් කන්න ඕනෙ.ඒ වුනාට මේ යන විදියට ගෙදර වත්තේ බතල අලයක් හරි හිටව ගන්න එක ඇගට ගුණයි.

              ඔය කියපු කතාවට පස්සෙ මමත් හිත ගත්ත වත්ත පොඩ්ඩක් සුද්දයක් එහෙම දාල ගන්න ඕනෙ කියල.මේ අන්තිම සතිඅන්තේ මම වෙලාව වෙන් කරලා තිබුනෙ වත්තෙ වැඩ වලට.වෙනදට හෙනහුරාදට පස්සට අවුව වැටෙනකම් නිදියන එක නවත්තල උදෙන්ම වත්තට ගිහින් පොල්ගස් ටික වටේ පොඩි සුද්දයක් දාල ගත්ත.දවල් වෙලා ගිහින් පොල් පෝරයි ඩොලමයිට් ඔක්කොම අරගෙන ආව.ආණ්ඩුවෙන් පෝර අඩුවට දෙන නිසා වැඩි ගානක් ගියෙත් නැහැ.එදාම දැම්ම ඩොලමයිට්.මුලින්ම ඩොලමයිට් දල සති දෙකකට පස්සෙ පොල් පෝර ටික දාන්න කියල වගා නිලධාරී තුමිය කිව්වා.මමත් ඉතින් ඒ විදියටම කලා.තව සති දෙකක් ඉන්න වෙනව පොල් පෝර ටික දාන්නා.ඔය ඩොලමයිට් දාන්න කියන්නෙ පස බුරුල් වෙන්න කියනවනෙ.මොනව දැම්මත් ඉතින් කාබනික පොහොර වලට ගහන්න පොහොරක් තවත් නැහැ.අපි දැන් කන්නේ ඔක්කොම වහනෙ.රටේ නැති පොහොර ගහනව එළවලු පලතුරු වලට.

                      වත්තෙ ලෑටිය පදුරු හැමතැනම.හරියට වගා කරලා වගේ.පුළුවන් තරමක් ගලවල ගොඩ ගැහැව්ව.දැන් ලබන සතියෙ ඒව ටික පුච්චන්න තමයි හිතාගෙන ඉන්නෙ.එක සතියට එක කෙහෙල් පැලේ ගානෙ හිටෙව්වනම් ඇති.ඒව ඇවිල්ල මම මගෙ වාසියට හදාගත්ත නීති රීති.තාමත් මගේ අත් දෙක රිදෙනව උදලු ගාලම.මොකද හුග දවසකින්නෙ වැඩක් කලේ.ඒත් හිතට මාර ෆිට් එකක් තියෙන්නෙ ඔය වගේ වැඩක් කලාම.අපිට මෙහෙම අමාරුනම් අර අහිංසක ගොවි මහත්වරුන්ට කොච්චරනම් අමාරු ඇත්ද?

          මේ දවස් වල හිතත් එච්චරම ෆිට් නැති එකේ මේ වගේ දෙයක් කරන්න ගත්තම ඒ හැමදේම අමතක වෙනව.ඒකනම් ලොකු දෙයක්.මොකද මටම එක තේරෙනව.ලොකු වෙනසක් තියෙනව.

---------------------------------------------------------------------------------






Wednesday, December 4, 2013

සීයගේ සරම කැඩුවෝ..

           

           මේ කතාවේ සුල මුල කොහොමද කියන එක ජෙමා අයිය මටත් වඩා දන්නව ඇති.මට මතකයි මේ ලගදිත් ඔය ගැන මතක් කරල අපි හිනා වුනා.මම පැටිය කාලෙ වෙච්ච වැඩක්.පැටිය දවස් වල ඉදලම මම නාහෙට අහන්නෙ නැති එකා.ඒක ගමේ හැම කෙනාමත් හොදට දන්නව.මට මතකයි ඉස්සර මට ගස් බැදලත් අම්ම ගහල තියෙනව.මොනව උනත් ඒ දේවල් නිසයි අද මම මෙහෙම ඉන්නේ.කියන්න හදන කතාව හරිම කෙටියි.හැබැයි කවදාවත් මට අමතක නොවෙන සිද්දියක්.

                            ඔය කියන දවස් වල මට අවුරුදු පහක් හයක් විතර ඇති.ඉස්කෝලෙ යන්න පටන් ගත්ත විතරයි.එතකොට අපි හිටියෙ අපේ අම්මගෙ මහ ගෙදර.මම ඉස්කෝලෙත් යන නිසා අම්ම කිව්ව දැන් දහම් පාසල් යවන්නත් ඕනේ කියල.ගමේ පන්සල් දෙකක් තියෙනව.ඒ වුනාට ඒ දවස් වල ඔය පන්සල් දෙකෙන් එකක දහම් පාසල් තිබුනේ නැහැ.ඔය පන්සල් දෙකට අපි කිව්වෙ මහ පන්සලයි පොඩි පන්සලයි කියල.ඉතින් මාව පොඩි පන්සලට තමයි දැම්මෙ.මම පොඩ්ඩක් ගමේ ප්‍රසිද්ධ කොලු ගැටයෙක් නිසා ඉතින් මාව හැමෝම වගේ හොදට අදුනනව.මතක විදියට ඒ දවස් වල අපේ පන්තියටම හිටියෙ මමයි පොපියයි මාලයයි විතරද කොහෙද.පස්සෙනම් මාර සෙට් එකක් හිටිය.

              මම ලොකු අයියලත් අදුනන නිසා විවේකය වෙලාවෙදි මටත් කතා කලා සෙල්ලම් කරන්න.මටත් ගානක් නැහැ.එදාම උනාට දහම් පාසල් ගියෙ මමත් වීරය වගේ දැන් වැලි මළුවේ සෙට් එකත් එක්ක ගස් පනිනව.ඔය අස්සෙ ලොකුම සෙට් එක කෙල්ලන්ට විහිලු කරනව.ඔය ලොකු සෙට් එකෙන් බාගයකට වඩා මාව අදුනනව.ඔය අතරෙ පන්සලේ ඇබිත්ත සීයා අර අක්කල ලගට ඇවිත් එයාලත් එක්ක ලොකු සෙට් එකට කෝචොක් කොරන්න ගත්ත.මමත් දැන් සෙල්ලම් කරන ගමන් හොරාට ඔක්කොම බලාගෙන.ඔය අතරෙ එකා එකා එතනින් ශේප් වුණා.කොහොමහරි අන්තිමට දහයක් විතර හිටපු සෙට් එකෙන් හතරක් පහක් විතරයි දැන් ඉන්නෙ.මුන්ටිකට දැන් ඌරු ජුවල්.මොකද ආතල් එකේ කෙල්ලෙක්ට විහිළුවක් කරන්න තිබුණු චාන්ස් එකක් සීයා ඇවිත් කෑවනේ.

ඔතන හිටිය සෙට් එක මට මතක විදියට 

        ආප්පය නොහොත් ලොකු අබයා , පතෝලය , අලියා , ජෙමත් හිටිය වගේ මතකයි.මේ සෙට් එකම අපේ ගෙවල් අහල පහල.සමහරු ලගම නෑදෑයො.ඔන්න එක පාරටම මගේ නම කියනව මට ඇහුන.බැලින්නම් ආප්පය..

"මල්ලි පොඩ්ඩක් වරෙන්කො බන්"

"ආ මේ අයියනේ..අයි අයියෙ"

"මල්ලි අර අක්කල ලග ඉන්න සීයා ඉන්නවනේද..එයා ඔයාට හොදටම බැන්න.දගලනවා කියල"

දැන් ඉතින් මට මාර අවුල.

"මොකද අයියේ දැන් කරන්නෙ.ලොකු සාදුට කියයිද"

"නෑ නෑ බයවෙන්න එපා..පුලුවන්නම් ගිහින් සීයගේ සරම කඩපන්"

           මම ඉතින් යකාටවත් බය නැති එකේ.මොකද පටිය කාලෙනෙ ඕව තේරෙන්නෙත් නැහැනෙ.පොඩ්ඩක් සෙල්ලම් කරන ගමන් සීය ලගින් දෙපාරක් තුන්පාරක් බොරුවට කැරකුනා.ආයේ මොනාද ඉතින් තෙවන වටය අවසන් වුනේ සීයගේ සරම බිම වැටුනට පස්සෙ.සරම බිමට වැටුනට කාටවත්ම නූල් බදින්න නොවුණු එක ගැන තාමත් මම සතුටු වෙනව.සීය කලින් දැනගෙන හිටිය වගේ හැමදේටම සෙට් වෙලා තමයි ඇවිල්ල හිටියේ.

                 දැන් මම අඩ අඩ ලොකු සාදු ලග.හාමුදුරුවන්ට හොදටම හිනා.විනාඩි පහක් යන්නට කලින් අන්න අහවල් එක්කෙනාගෙ කොල්ල අද දහම් පාසලේදී සීයගේ සරම කඩල කියල දහම් පාසලම දැනගත්ත.හාමුදුරුවො මොකුත් නොකිව්වට දහම් පාසලේ හිටිය ලොකු සර් අපිනම් කියන්නෙ මයික් පාල කියල.සර් මට නපු ටොක්ක තාමත් රිදෙනව.දෙගර ගියාට පස්සෙ අම්මත් සැලකුව හොදට.ටික කාලයක් යනකම් මට ලොකු සෙට් එක ඕක මතක් කරල විහිලුත් කලා.

අන්තිමට මම දහම් පාසලෙන් අයින් උනේ ප්‍රධාන ශිෂ්‍ය නායකයත් වෙලා.තව හොද හොද සීන් තියෙනව මතක් කරනකොටත් හිනා යනව.බලමු ඉස්සරහට ඒවත් දාන්න. 

Saturday, November 30, 2013

හැමදේම වෙන්නෙ හොදටලු

               

           

                             අපි හෙට මැරෙයිද ජීවත් වෙයිද කියන්නවත් අපි හරියට දන්නේ නැහැ.මෙහෙම හිතෙනකොට අපි මේ මොනවද කරන්නෙ කියලත් හිතෙනව.මිනිස්සු හැම දෙයක්ම කරන්නේ ජීවත් වෙන්න මිසක් මැරෙන්න උවමනාවෙන් නෙවෙයි කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනෙ.මිනිස්සු හොරු වෙන්නෙ මිනීමරුවො වෙන්නෙ මේ පවතින සමාජ තත්වෙ නිසා කියල උනත් කියන්න බැරි කමක් නැහැ.මොන දේ හරි කරල මිනිස්සු බලන්නෙ සල්ලි හොයන්න.ඒ යන ගමනෙදි එකිනෙකා තෝර ගන්න පැත්ත තමයි මිනිස්සුන්ගෙ ජීවනාලෝකය වෙන්නෙ.සමහරවිට ඒ දේ පුද්ගලයෙකුගෙ ජීවත් වීමේ කාලයත් තීරණය කරන්න පුළුවන්.තමන්ට හිතෙන දේ , තමන්ට උවමනා කරනදේ තමන්ලග නැතිවෙනකොට මිනිස්සුන්ට දැනෙන වේදනාව දුක ඒ දේ විදවපු කෙනෙක් ඇරෙන්න වෙන කෙනෙක් දන්නෙ නැතුව ඇති.දුකයි වේදනාවයි දෙක වෙන වෙනම තේරුම් කරන්නනම් මට තේරුමක් නැහැ.හැබැයි මම දන්නව ඒ දෙක දෙකක් කියල.දැන් හිතනවද දන්නෙ නැහැ අදත් ලියන්න යන්නෙ මල ඉලව් ප්‍රේමය නොහොත් ආදරය ගැන කියල.නැහැ නැහැ අද වෙනමම දෙයක් ලියන්න යන්නෙ.(බලාගෙන යනකොට ප්‍රේමයටයි අදරයටයි දෙකටම තේරුම් දෙකක් තියෙන පාටයි?)

                    දැන් මම ජොබ් එක කරන තැන වැඩ කරන්න පටන් අරගෙන අවුරුද්දයි මාස දහයක් විතර වෙනව.ඇත්තටම අවුරුදු දෙකකට කිට්ටු කරලා.මම වැඩට ආවෙ training කොල්ලෙක් විදියට.පොඩි ගානකුත් ඒ දවස්වල මට ලැබුන.එක ඉතින් මට මසුරන් වගේ වටිනවා.මුලින්ම මාස හයකට තමයි මාව ගත්තෙ.මම ඉතින් මොකුත් නොදන්නා එකා ගානට තමයි ඉන්නෙ.ලොකු වැඩක් කියල මට දුන්නෙත් නැහැ.පොඩි දෙයක් හරි ඉගෙනගෙන තිබුනට ඒ දේවල් පාවිච්චි කරන්න මම දැනගෙන හිටියේ නැහැ.මාව බාරදීල තිබුනෙ S අයියට.නම්ගම් දාන එක හොද මදි නිසා මම මෙහෙම දානව.එතකොට එදා ඉදලම සිරිගම්පල අයියත් මට ගොඩක් හිතවත්.කොටින්ම මේ දෙන්න තමයි ඉතින් මට ඔෆිස් එකේ බොක්ක.

                      මට මුලින් ලැබුණු මුදල මගෙ කොච්චි සීසන් ටිකට් එක ගත්තම සීයට පනහක් හැටක්ම කුඩු වෙනව.ඔහොම දවසින් දවස ගෙවිල යනකොට මටත් පොඩි පොඩි වැඩ සෙට් වුණා.වැඩ කිව්වට ඉතින් කටු.මොන කට්ට සෙට් උනත් මම උපරිමෙන්ම කලා.තාමත් එහෙම තමයි.ඔය අතරතුරේ මාව කඩේ ඇරිය කට්ටියත් ගොඩක් හිටිය.මට තේරෙනවා ඉතින් මම මේ කඩේ යනව කියල.මොනව කරන්නද ඒ දේවල් එහෙම තමයි.ජොබක් කරනකොට පොඩ්ඩක් හරි කඩේ ගියෙ නැත්නම් ඒකෙ කිසි ගතියකුත් නැහැ කියල මම අහල තියෙනව.එතකොට තමයි මටත් ඒ දේවල් කල්පනාවට ආවෙ.

                       මම තමයි මෙතන ඉන්න පොඩිම එකා නිසා බොරු බටර් පාර ගාල එහෙම තමයි මාව කඩේ යැව්වෙ.අපි කරන ජොබ් එකත් එක්ක සමහර වෙලාවට දවල්ට කන්න වෙන්නෙත් හවස හතරට පහට විතර.මොනවා කරන්නද කට්ට කෑව.තාමත් එහෙමම තමයි.ඔන්න ඉන්න ගමන් එකපාරටම එකෙක් කියනව මල්ලි 12 ෆ්ලො එකේ පොඩි කේස් එකක් තියෙනව පුලුවන්ද පොඩ්ඩක් බලල එන්න කියල.මම ඉතින් බැහැයි කියන්නද.ඉතින් දුවනව.ඇත්තටම මම දන්නේ නැහැ කොහොමද මේක වෙන්නේ කියල.මොකද ඉගෙනගෙන තිබුනට ඒ ඒ දේවල් ඒ ඒ තැන්වල ඒ ඒ විදියට පාවිච්චි කරලා තියෙන නිසා හැඩගැහෙන්න පොඩි කාලයක් යනව.ඉතින් මම ගිහින් කට්ට කාල චාටර් වෙලා ඉන්නකොට එකෙක් ඇවිත් එක පාරටම ගොඩ දානව.හැබැයි කියල දෙන්නෙනම් නැහැ.එත් s අයිය කවදාවත් මට එහෙම කලේ නැහැ.දැන් මට s අයිය මගේම සහෝදරයෙක් වගේ.

                        ඔහොම මස හය ඉවර වෙන්න ලං වෙනකොට මම ගිහින් බොස්ට කතා කලා.එතකොට තමයි එය දන්නේ මෙහෙම එකෙක් ඉන්නව කියලත්.අනික මමත් ඉස්සෙල්ලම පාර තමයි බෝස්ව හම්බවුනු.බොස් කිව්ව හරි මම ඔයාව තව මාස තුනකට දික්කරනවා කියල.ඔය අතරේ ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක් අපිට සෙට් උනා.ඒ වුනාට කව්රුත් වැඩිය ගණන් ගත්තේ නැහැ.කොහොමහරි අපිත් එක්ක වැඩ කරපු අයිය කෙනෙක් ඉන්නව හරිම හිත හොද කෙනෙක්.එයාට කියන්නෙ ප්‍රින්සිපල් මහත්තය කියල.ඉතින් මෙයත් මාත් එක්ක ටිකක් හිතවත්.ඔය අලුතින් ආවයි කිව්වා ප්‍රොජෙක්ට් එක මෙයා මට කැරකෙව්වා.ඕකට දෙතුන් දෙනෙක්ම මට කොස්ස දැම්ම.මම ඉතින් ඒව දන්නේ නැහැ වගේ හිටිය.හා හා පුර කියල මට දුන්නු වැඩේ මම සියයට අනුවක් විතරම ගොඩ දැම්ම.ඔන්න ඉතින් දැන් මට ලකුණු වැටෙනව.ඔය අතරේ වැඩ කරන ආයතනයෙ පුරප්පාඩු වගයක් තියෙනවා කියල අයදුම්පත් කැදෙව්ව.මමත් වේලි වේලි හිටිය නිසා ඉල්ලුම් කලා.පලවෙනි ඉන්ටර්විව් එකටත් ගියා.දෙවෙනි එකට කලින් මම තව exam එකක් දාගත්ත.එතකොට ඔය කියපු exam එක කරලා තිබුනෙ S අයිය විතරයි.ඒ නිසා අපේ ආයතනයෙ කට්ටිය මට පොඩි තැනක් දුන්න.එතකොට බොස් කිව්වා ඔයාට මේ ජොබ් එකට වැඩ හොද ජොබ් එකකට මම ඔයාව මේ ආයතනයටම ගන්නව කියල.ඉතින් මට කලින් ඉන්ටර්විව් ගිය ජොබ් එකත් නැති උනා ඒ නිසා.

                                      S අයිය කියන්නෙ හැමදේම වෙන්නෙ හොදටනෙ මල්ලි පොඩ්ඩක් ඉවසපන් කියල.සිරිගම්පොල අයියත් කියන්නෙ ඒ ටිකම තමයි.තාමත් මම ඔය කියපු ආයතනයේම වැඩ.තාම ඉස්සර වගේම තමයි.ඒත් දැන් මාස දෙකකින් මට ලැබෙන මුදල ලැබිලත් නැහැ.ඒ ගැන මම කාටවත් කියන්න ගියෙත් නැහැ.ජොබ් එක අද හරියනව හෙට හරියනව කියනව.මටනම් දැන් හැමදේම ඇති වෙලා.මොනවා කරන්නද තාමත් මම වැඩ කරනව.කොච්චර ජොබ් වලට අයදුම් කලත් මට තාම එකක්වත් හරිගියෙ නැහැ.එකක් හරිගිහින් මම යන්න යනකොට බොස්ම කිව්වා යන්න එපා පොඩ්ඩක් ඉවසල ඉන්න කියල.මේ අවුරුද්දත් මෙහෙමම ගෙවිල යයි.මම මෙහෙම ඉදියි.හැමෝම කියනව ට්‍රයි කරපන් කියල.ඒක කරනවා තමයි.මේවගේ කාලයක් මගෙ ජීවිතේට මේ ආවමයි.යාළුවො කෝල් කලාම මම දැන් උත්තර දෙන්නෙත් නැහැ.මොකද උන් කතා කරන්නෙ කොහේ හරි ගිහින් ෆන් ගන්න.මේ අතේ සතේ නැතුව මට යන්න බැහැනෙ.ඒත් සමහර යාළුවො ඉන්නව මේ එකට ඉගෙන ගත්තු එවුන් ඒ දවස් වල උන්ට වත නැහැ කිව්වම අපි සල්ලි එකතු කරල එහෙ මෙහෙ ගිය එවුන්.හිටපු ගමන් කතා කරලා කියනව අරහෙ යන මෙහෙ යන කියල.සල්ලි නැහැ කිව්වම උන් කියන්නෙ එහෙමද එහෙනම් උබට සල්ලි සෙට් උනාම යමන්කො කියල.දුක හිතෙන වාර අනන්තයි.

දුක් විදලා ලැබෙන දේ ගොඩක් වටිනව කියනවනෙ.බලමු බලමු..

Monday, November 25, 2013

වැහි බිදු අතරින් විනිවිදව ..




වැස්ස නුබ කෙතරම් සොදුරුද 
කෙතරම් නුබ චන්ඩද 
සුළගට පෙම් කලද 
සුළග නුබව රළු කරනතුරු 

විටෙක උණුහුම තුරුළු කර 
දැල්වෙන ලැව් ගිනි නිවා පහන් කර 
සිහිල් සුළගින් මුසුවී වැටෙන දියපොද 
මරුකතරෙහි වියලුනු පොළොවට ආනන්දයකි 
කම් නැත , මක් නිසාද 
සීතල පොද වැසි වැටෙන තරමට 
ජනිත වන , නැගී එන දේදුන්නද 
සිරුරම වර්ණ කර අදුරු කරන අතරතුර 
මොර සූරන වැසි වැටෙන බැවිනි 

බලන් දොරගුළු විවරකර 
ලොවම රවටන හිමිදිරි අහස් කුස 
සොදුරු සැදෑව අදුරු කරන 
තනිව දුක්විදින සිතට අදුරද අස්වැසිල්ලකි 
අදුරද ඝෝෂාකාරී වූ විට 
මැලවුණු හදවතට වස පොවන්නා සේය 

නුබේ උරුමය නුබටමය 
උරුමයේ උරුමක්කාරයාද නුබය නුබමය 
සිනාව උරුමයට ගතු කියන විට 
හදවත කදුලට වගඋත්තරකරුය 
තුන්මන්සල අබියස ඉකිබිදුමට 
ශේෂ වන අවසන් හුස්ම බිදද 
ක්ෂණයෙන්  ඔබේ දෙසවන නෑසුනේ නම් 
මාහට කීමට කරුණු නොමැත..  

Tuesday, November 19, 2013

වැරදි කරුද නිවැරදි කරුද?....වැරදිකරු ස්වාමීනි..

                අද මම ලියන්න යන පෝස්ට් එක මේවෙනකම් මම ජීවිතෙ ලබපු අමිහිරිම අත්දැකීමක්..ඇත්තටම අපි අපේ ත්‍රිවිධ හමුදාවට පොලිසියට කොච්චරනම් ආදරේ කරනවද?කොච්චරනම් ගරු කරනවද?අපි අපිට වෙන සමහර ප්‍රශ්න වලට විසදුම් සොයාගෙන යන්නත් හේතුව මේ දේ නිසා..ත්‍රිවිධ හමුදාවට වඩා අපි ලගින්ම ඇසුරු කරන්නෙ අපේ ගමේ හෝ ටවුන් එකේ පොලිසිය.ඒත් සමහර මහත්වරුන්ගෙ ක්‍රියා කලාපයන් නිසා සමස්ථ පොලිසියම ඒ ගණයට වැටිල..මම කියන්න යන දේ බ්ලොග් එක කියවන අයට තේරෙනව ඇති කියල හිතනව.මොකද අද රටේ නීතිය මොකක්ද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ..යහපාලනය ගැන හැමෝම කතා කරනව.කොහෙද තියෙන්නෙ ඒ දේ?මම දේශපාලනය කතා කරනවනම් නෙවෙයි.මොකද කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවන්..මම කතාවට යන්නම්..

ජයා - අපේ ගෙදටර පහල ගෙදර අයිය..පුද්ගලික අංශයේ රැකියාවක       නිරත වෙනව..

නිමා - ජයා අයියගේ ලොකු අම්මගෙ දුවගේ මහත්තය..පුද්ගලික අංශයේ රැකියාවක නිරත වෙනව..

ලෑටියා - ගෙවල් ලග අයිය කෙනෙක්..පුද්ගලික අංශයේ රැකියාවක නිරත වෙනව..

කංච - මට වඩා වැඩිමල් ගමේ අයිය කෙනෙක්..තමන්ගෙම කියල ලොකු ව්‍යාපාරයක් කරගෙන යනවා..

පරවිය - මට වඩා වැඩිමල් ගමේ අයිය කෙනෙක්..පුද්ගලික අංශයේ රැකියාවක නිරත වෙනව..

මම - පිනට වැඩ කරන මෙලෝ රහකට නැති එකෙක්..

                   අපේ ගෙවල් පහල (ඒ කියන්නෙ ජයාගේ ගෙදර) ආච්චි නැති වෙලා තුන්මාසේ පිංකම ගිය සතියේ බුරාස්පතින්ද තිබුන.බුරාස්පතින්ද බණ , සිකුරාදා දානේ.චෝගම් එකට පාරවල් වහල නිසා අපිට කලින්ම ඔෆ්ෆිස් එකෙන් ගෙදර යන්න අවසර දුන්න.කලින් ගෙදර ආව නිසා බණ ගෙවල් පැත්තෙ එහෙම කැරකිලා වැඩ දෙක තුනකුත් කරලා එහෙම ගෙදර ආව නාගෙන රැට කන්නම යන්න බලාගෙන.කොහොමහරි හාමුදුරුවො බණ ඉවරවෙලා පන්සලට වැඩිය.මමත් ගියා කෑම ටිකක් කාල එන්න කියල මොකද අම්මත් එහෙ.යනකොට කංචයි පරවියයි ලෑටියයි සෙට් එකම බර කතාවක්.මම දන්නව ඉතින් මොකාටද දැන් මුන් එන්නෙ කියල.හාමුදුරුවො ගිහින් දාන්න ත්‍රිවිල් එකේ ගිහින් තියෙන්නෙ ජයයි නිමයි..දෙන්න ඒ ගමන්ම ටවුන් එකට ගිහින් බෝතලේකුත් අරගෙන ඇවිත් මග තියෙන පිට්ටනියක සෙට් වෙලා කියල ලෑටියට කෝල් එකක් ආව.දැන් ඉතින් තුන් කට්ටුව නලියනව.

              ජයාගේ බයික් එකත් තිබුන නිසා ජයාගේ අම්මට ලෑටිය ගිහින් කියපි 

" නැන්දෙ මල්ලිල හාමුදුරුවො ගිහින් දාල එනකොට මගදී පෙට්‍රල් නැතිව හිටල "

ආයේ මොන කතාද නැන්ද කෙලින්ම බයික් එක පෙන්නලම කිව්ව

 " එහෙනම් පුතේ මේකෙ ගිහින් පෙට්‍රල් අරගෙන ගිහින් දෙන්න කියල"

        ලෑටියට නිකන් නිදානයක් පහල වුණා වගේ.නැන්ද කතාව ඉවර වෙන්නත් කලින් ලෑටිය පිට්ටනිය ලගටම ගියාද මන්ද?අපිට පැලෙන්න හිනා..දැන් කංචටයි පරවියටයි ඉන්න බැරි කේන්ති ලෑටිය එක්ක මොකද උන්ව එක්කගෙන ගියේ නැහැ කියල..ඔන්න එතකොටම එනවා කංචට කෝල් එකක් 
" පිට්ටනියට වරෙන් ඉක්මනට "කියල.

    එදා පරවිය ඇවිල්ල තිබුනෙ උගෙ වෑන් එකේ නිසා කංච මටත් කතා කලා වරෙන් මල්ලි යන්න කියල.මම බැහැ කියද්දී මුන් දෙන්න මාව ඇදගෙන ගියා බලේට වෑන් එකට.

         මගෙ බ්ලොග් එක කියවන මාව දන්න කියන සෙට් එක දන්නව ඇතිනෙ මම නැටුම් තෙල් ගන්නෙ නැහැ කියල..අවුලක් නැහැ එහෙනම් කියල මමත් ගියා මුන් දෙන්න එක්ක පිට්ටනියට.යනකොටත් ජයයි නිමයි ලෑටියයි බෝතලෙන් බාගයක්ම ගහල.ඉතුරු බාගේ මදි කියල නිමයි කංචයි ගියා ටවුන් එකේ බාර් එකට තව බෝතලයක් ගේන්න.අපි එතකම් පිට්ටනියට වෙලා බයිලා ගගහ නිමාටයි කංචටයි බැන බැන හිටිය කෝ යකෝ මුන් දෙන්න කිය කිය.ඔය අතරේ මම බයිට් එකට තිබුණු කෝක් එකෙනුයි කොත්තුවෙයි රස බැලුව..මොකද ආව එකේ බඩ කටවත් පුරවා ගන්න එපායැ.තව පැය දෙක තුනකකවත් මෙතනින් යන්න වෙන්නෙ නැහැ කියල මම දන්නව.එක දෙක වෙලා දෙක තුන වෙනව.

           ඔහොම පැය බාගයක් විතර ගියාට පස්සෙ ඔන්න නිමයි කංචයි එනව ත්‍රීවීල් එකේ.එතකොට ජයාගෙ හිනාව හරියට ඉහේ මලක් පිපුන වගේ.ලෑටිය බෝතලේ එලියට අරගෙන ඒකට වැන්දේ නැති ටික විතරයි.මොකද ලෑටිය ටිකක් දාලනෙ එතකොට.මෙන්න යකෝ ඈතින් පේනව ලොකු වාහනයක් පිට්ටනිය පැත්තට එනව..මගුලයි පොලිසියෙන්..පරවිය වෑන් එක පාර පැත්තටම දාගත්ත..මොකද එතකොට අවුලක් නැහැනෙ..පොලිස් ජීප් එක ආපු ගමන් දැම්ම පිට්ටනිය ඇතුලට..පොලිස් මහත්වරු තුන් දෙනක් බැස්ස..මම දැක්ක ලෑටිය ශේප් එකේ පරවියගේ වෑන් එක පැත්තට යනව.

දැන් ඉතින් දීපල්ලකෝ ප්‍රශ්න වලට උත්තර..

" තමුසෙලා මොකද මේ රෑ වෙලා මෙතන කරන්නේ? "

" යකෝ තොපිට බොන්න ඕනෙමනම් පලයව් කැලේකට..ගිහින් ඇති වෙන්න බීපියව්..එනව මෙතන අපිට පව් දෙන්න."

         ලංකාවේ පොලිසිය පහත් කරල කතා කරනව නෙවෙයි.හැබැයි ඉතින් ලංකාවෙ මත්වරුන්ගේ කතාව ගැන හැමෝම දන්නවනෙ.මට කළුවරේ පෙනුණු විදියට එක් අයෙක් ලොක්කෙකි..තවත් අයෙක් රථ වාහන අංශයේ අයෙක්.තුන් වැන්නා කොස්තාපල් වරයෙකි.ගමේ මිනිස්සු කියන විදියට කංච පොලිසියේ මත්වරු හොදින් ඇසුරු කරයි.නමුත් අද උගේ කටට ඉබ්බා වැටිල.මට පිස්සු වගේ..නිමා උඩ බිම බලයි..ජයාට ඇඩෙන සයිස්ය.

" යකෝ උත්තර දීපියව්. "

          මම වුනු හැමදෙට වචනයක් නෑරම කිව්වෙ බලාගෙන ඉදල බැරිම තැන..මොකද ඔක්කොම ගල් ගැහිල සද්ද නැත..මේ වෙනකොට කොස්තාපල්වරය අපේ බෝතලෙයි ඉතිරි වෙලා තිබුණු බාගයයි සැන්ඩි වලට තිබුණු කෝක් එකයි ඔක්කොම පොලිස් ජීප් එකට පටවනව මම දකිනකොටම ඔහු කොත්තුවත් දාගත්ත ජීප් එකට..මම හිතන්නෙ ඒ උදවිය මීට කලින් කොත්තු කාල නැහැ වගේ කියල මට හිතුන.

            මම හිනාව නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන්..මොකද දානයක් දුන්න වගේ කියල මට හිතුන.කංච මේ වෙනකොට පොඩ්ඩක් බැට් කලත් හරිගියේ නැහැ.මම වැන්දේ නැති ටික විතරයි.මොනව උනත් කංච කිව්ව මාව පෙන්නල

"සර් මේ මල්ලි අරක්කු තියා සිගරට් එකක්වත් බොන්නෙ නැහැ කියල"


  මොන දේ කිව්වත් ඒ මහත්වරු ගනන් ගන්නෙම නැත.යකෝ මෙයාලගෙ පපුව ගලක්ද කියලත් මට හිතුන.

" නැගපියව් ඔක්කොම ජීප් එකට "

මම - " අනේ සර් එහෙම කරන්න එපා සර්.අදට විතරක් සමාව දෙන්න    සර් "

         හතර දෙනාම සූරයො වගේ නාහෙන් අඩන්න වුනු නිසා ක එතනින් ඉවර වුනත් අපේ නම් ලියන්න හදනවා කියල මට තේරුනේ ජීප් එකේ තිබිල පොතක් එලියට ගත්ත නිසා..මේ හැම දෙයක්ම වෙනකොට පරවියයි ලෑටියයි ගැන පොලිසියට ගානක්වත් නැත..උන් මේ පැත්තට එන්න හදනකොට උන්ව නතර කරගත්තේ අතින් කියල.මොකද නැත්නම් උන්ටත් ටොපිය සෙට් වෙනවනෙ.

" මේ ත්‍රීවීල් එක කාගෙද? "

එකෙක් සද්ද නැත.ඔච්චරටම කයිවාරු ගහන කංචගෙ කට..අයියෝ සැලරි..

" යකෝ මේ ත්‍රීවීල් එක කාගෙද? "
ජයා - " ගෙදර එකක් සර් "

" ගෙදර එකක් තමයි යකෝ කාගෙද කියපිය "
ජයා - " මගෙ සර් "

" නම කියපිය "
මම මගෙ නමේ කෑල්ලක් කිව්ව.
" යකෝ කෑලි නෙවෙයි සම්පුර්ණ නම කියපිය "

                     ඔය විදියට මගෙයි ජයාගෙයි නිමාගෙයි නම් තුනම ලියාගත්ත..අහිංසක මම තමයි උඩින්ම.මොන හේතුවක් නිසාද මන්ද මෙච්චර ලග හිටිය කංචගෙ නම ලියා ගත්තෙ නැහැ.ඊට පස්සෙ මොනවද මන්ද කොළ තුනකට අපි තුන් දෙනාගෙන්ම අත්සන් ගත්ත.

"හරි එහෙනම් ලබන විසි වෙනිද උසාවියට ඇවිත් දඩ ගෙවල පලයල්ල "

          ඇත්තටම මගෙ ඇග සීතල වුණා.ඇයි දෙයියනේ මේ මොන දේවාලයක්ද පාත්වුණේ.ඊට පස්සෙ මහත්වරු ටිකනම් යන්න ගියා..ඔන්න කංච පටන් ගත්ත කතන්දර කියන්න.

" උබල බය වෙන්න එපා බං මම වැඩේ ශේප් කරල දාන්නම් ".

      ඔය වගේ තව සුරංගනා කතන්දර ගොඩක් කිව්ව.ඇත්තටම කංච කිව්ව දේවලුත් එක්ක අපි හිතුවේ අවුලක් යන එකක් නැහැ කියල.එදා අපි ආපහු බණ ගෙදරට ඇවිල්ල කෑම කෑවත් සෙට් එකටම අවුල්..කංච කිව්ව දේවල් නිසා පොඩ්ඩක් විතර බය අඩු වෙලා තිබුණෙ..මෙන්න සිකුරාදා මම ඔෆ්ෆිස් එකේ ඉන්නකොට නිමා කෝල් කරල කියපි 

"අන්න වැඩේ පත්තු වෙලා ...අපිට උසාවි යන්න වෙලා".

        දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ..හොයල බැලුවම කතාව ඇත්ත..දැන් කංච ලග තිබුණු ලොකු මහත්වාරුන්ගෙ නොම්බර නැත..මොකද ඒ නොම්බර ඔක්කොම සේව් කරල තිබුණෙ සිම් එකට නෙවෙයිලු ෆෝන් එකටලු..දැන් ඒ ෆෝන් එක ඔන් වෙන්නෙ නැහැලු..අම්මෝ ඉතින් මාරම කේස් එකක්..අම්මප කාටද මේක දැන් මේ බොරු කරන්නෙ..අවුලක් නැහැ මොකද උගෙ නම නැහැනෙ..පොලිසිය වරද දාල තියෙන්නෙ 


" ප්‍රසිද්ධ ස්ථානවල දුම් බීම "

 කියල..කොහොමද ?හිනත් යනව..

       ගෙදරට කියන්නෙ කොහොමද?අම්ම ගෙදරින් පන්නන එකනම් ෂුවර්..ප්‍රශ්න වැලයි..දඩ ගෙවන්න සල්ලි..අයියෝ තාම ඔක්තෝම්බර් මාසෙ පඩියවත් නැහැ..හවස ගෙදර ආව ගමන් අම්මට කියන්න වුණා නෙවෙයි ඇත්තටම කියවුණා..බැන්න කියන්නෙ හොදම එකෙන්..හවස මමයි ජයයි නිමයි ගියා පොලිසියට..බැලුව කවදද නඩුව කියල..නඩුව දහනම වෙනිද කියල කිව්ව..

මම - "දඩේ කීයක් විතර වෙනවද සර් "

" ඔය රුපියල් හයසීයක් විතර වෙයි "

        දවසින් දවස  දහනම වෙනිද උදාවුණා..තුන් දෙනාම දැන් ජැන්ඩියට ඇදල උසාවි යන්න.කංච තමයි අපිට ඇප දෙන්නෙ.මගෙ හොදම යාලුවෙකුත් එනවා කිව්ව මොකද පොරගෙ අදුනන කෙනෙක් ඉන්නව කියල උසාවියෙ..උසාවිය හරියට නවය හමාරට පටන් ගත්ත..මුලින්ම පොඩි පොඩි නඩු..දැන් අපේ ඒවත් කිට්ටු වෙනවා..මුලින්ම විත්තිකාර කොටුවට නැග්ගෙ ජයා ඊට පස්සෙ නිමා අන්තිමට තමයි මම..අපි තුන්දෙනාම නොකළ වරදකට 

" ඔබ වරදිකරුද නැත්නම් නිවැරදි කරුද? "

" වැරදිකරු ස්වාමීනි.."

     අන්තිමට වැරදි කරු වුණා..ඊට පස්සේ උසාවිය ඇතුලෙ තියෙන කූඩුවෙ කූරු ගනින්නත් වුණා අපිට..හැබැයි විනාඩියක්වත් හිටියේ නැහැ..කංචයි මගෙ යාළුවයි ඇවිල්ල දඩ ගෙවල අපිව ගත්ත..ඇත්තටම ඇතුලට යන්නෙ නැතුව බේරුනේ අනුනාවයෙන්..

       කොහොමහරි ජීවිතේට ගොඩක් දේවල් අරගෙන අපි උසාවියට සමු දුන්නෙ අයෙත් ජීවිතේ තියෙනකම් නොඑන්න හිතාගෙන.දඩේ රුපියල් දෙදාහක් ගෙවන්න වුනා..අම්මප මේ කසිප්පු බෝතල් දෙක තුන අහුවුණු එකාලට රුපියල් එකදාස් පන්සීයයි අපිට තමයි ඒකටත් තට්ටු වුණේ.අපි තාමත් මේ හැමදේටම අදාල මහත්ම මහත්මීන්ට දෙහි කපනවා..නිමා තමයි හොදටම දෙහි කපන්නෙ.

        හැමෝටම කියන්නේ මේ කාලෙ අමුතුම කාලයක්..නීතිය කියල දෙයක් නැහැ..බොහොම පරිස්සමින් ජීවත් වෙන්න ඕනෙ..මට වුනු දේ හෙට මේක කියවන කට්ටියටත් වෙන්න පුළුවන් බැරි නැහැ..අසාධාරණය රජ කරන මේ ලෝකෙ සාධාරණ මනුස්සයට තැනක් නැහැ.අයෙත් කියනවා මඩ ගහනව නෙවෙයි..මෙහෙම නිලධාරීන් ඉන්නකොට කොහොමද රටේ යහපාලනය පිහිටුවන්නෙ..මම මට වුණු හැමදේම කියන්න ගියොත් ඒක හොද මදි..මට මොනවා මොනවා ලියන්න වෙයිද දන්නෙ නැහැ..මේකත් පෙරල පෙරල අරගෙන තමයි ලිව්වෙ.. 


Tuesday, November 12, 2013

ටයිට්ල් එකක් දාන්න තේරෙන්නෙ නැහැ...

                                  ඔව් මම ආදරේ කලා තමයි..ඔයත් ආදරේ කරන්න ඇති.මම දන්නෑ ඔයා ආදරේ කරාද නැද්ද කියන්න.මගෙ ආදරේ ජීවිතේ පුරාවටම තියේවි.මම මොනවද ඔය වෙනුවෙන් නොකලෙ.මගෙන් වෙන්වෙන්න තරම් ඔයාට මගෙන් වෙච්ච වරද මොකක්ද නංගි?යන්න ඕනෙමනම් ඔයාට යන්න තිබුන හැබැයි ඔයා ගියපු විදිය හොද මදි.ඒ ඔයාමද?ඒ ඔයාමනම් එයා මට කවදාවත්ම එපා.මම තාමත් ආදරේ කරන්නෙ මීට අවුරුදු දෙකකට විතර කලින් මගෙ ජීවිතේ වෙලා හිටිය කෙනාට.ඇයි මාව මෙහෙම එක තැනක තියල හිරකලේ.ඔයා මගෙන් බලාපොරොත්තු වුනු දේවල් මට දෙන්න බැරුව යන්න ඇති.ඒක මම දන්නවා.එහෙම වුනේ ඇයි කියන්න ඔයත් දන්නව.මම කරපු ලොකුම වරද ඔයාව හැමවෙලාවෙම සතුටින් තියන්න හදපු එක වෙන්න ඇති.ඒත් මම ඔයාගෙ ජීවිතේ කාලකන්නි කළාද?ඇයි ඒ වගේ දේවල් මට කියන්නෙ.එහෙම කරන්න තරම් මම පහත් මිනිහෙක්නම් නෙවෙයි.ඔයා කියපු ඒ වචන ටික මට තාමත් වද දෙනව.මම මැරෙනකම් ඒ වචන ටික මට මර මර දුක් දෙයි.එක දවසකට දෙකකට  කතාකරපු මිනිස්සු ඔයාට ලොකු වුනාට මට එහෙම නැහැ.




                            මොකද මම පොලොවෙ පයගහල ජීවත් වෙන කොල්ලෙක්.මගෙත් වැරදි ඇති අනිවාර්යෙන්ම.මොකද මේ ලෝකෙ කව්රුවත්ම සීයට සීයක්ම සම්පුර්ණ නැහැ.ඔයා හිතන ඔය සුන්දර ලෝකෙ මම හිතන්නෙ ඔයාට ගොඩක් රසවත් ඇති.තවත් කෙනෙක්ට කරන බොරුව අද හෙට හරියටම දවසක් කියන්න අමාරුයි ඒත් ඒ දේ කවදාහරි ඔයාටත් කවදාහරි දැනේවි.ආදරේ කරපු හිතකින් වෙයිර කරනවා නෙවෙයි මනුස්සයෙක් විදියට මම වින්ද ඒ දුක තාමත් විදවන ඒ දුක ඔයත් දවසකට හරි විදින්න ඕනෙ නංගි.

                            ඇත්ත ඔයා කියනව ඉස්සර අයියෙ රැවුල කපන්න , සෙරෙප්පු දාන්න එපා , ඇයි හැමදාම එකම විදියට අදින්නෙ.මටත් තිබුන එහෙම ඉන්න.එහෙම ඉන්නත් පුළුවන්.මම හරිම සිම්පල් කොල්ලෙක් ඔයාට ඒක කවදාවත්ම තේරෙන එකක් නැහැ නංගි.ඔයාට මොනවහරි දෙයක් දෙන්න ඕනෙ වුනාම ඒක ගන්න මම කොච්චර කට්ටක් කැවද?කොටින්ම කියනවනම් කෝච්චියෙ සීසන් එක ගන්නෙ නැතුව ගිහින් සල්ලි එකතු කරල තමයි මම ඔයාට මොනවහරි දෙයක් ගත්තනම් ගත්තේ.හැමදාම එකම ඩෙනිම එක වගේම ටී ෂර්ට් තමයි මම ඇන්දෙ.

                  ඔයා දැන් රෝද හතරෙ වාහනවල සැපට යනව කියලත් මම දන්නවා.මට කවදාවත්ම ඔයාට ඔහොම දෙයක්නම් සමහරවිට දෙන්න බැරි වෙයි.ඒත් නංගි සල්ලිම නෙවෙයි ජීවිතේ.මට තාම හරියට ජොබ් එකක් නැහැ.ඔයාගෙ තාත්ත කිව්වෙ ඒ දවස් වල ඔයා අනිවාර්යෙන්ම ලබන අවුරුද්දෙ බදින්න ඕනෙ කියල නේද?මතකද කියන්නනම් දන්නෑ..මම බැහැ කිව්වෙ ඔයාව රවට්ටන්න නෙවෙයි.මොකද මම තම ජීවත් වෙන්නෙත් මගෙ අම්ම දෙන සල්ලි වලින් නිසා.තාත්ත කිව්ව විදියටනම් දැන් ඔයා බැදල ඉන්න ඕනෙ.මම දන්නව දැන් ඒ හැමදේම බොරු..බොරුවට ලොකු දෙයක් කරන්න පුළුවන්..මගෙ ජීවිතේම දැන් ඒ දේවල් එක්ක ජීවත් වෙනව කියල මට දැනෙනවා.

                   ඔයාගෙ උපන් දිනේට මම එවපු වොච් එකට ඔයා මට ගොඩක් තැන්ක්ස් කලා මතකද?දවස් දෙකයි එක පාරටම මෙහෙම මිනිස්සුන්ට වෙනස් වෙන්න පුලුවන්ද දෙයියනේ..මම මෙහෙම ලියනකොට හිතයිද දන්නෙ නැහැ "යකෝ මූ කොල්ලෙක්ද කියල".මේ දේවල් මට විතරක් නෙවෙයි මම දන්නවා පොස්ට් එක කියවන ඔයාටත් වෙලා ඇති..නමුත් කව්රුත් කැමති නැති දෙයක් තමයි බිදුණු ආදරයක් ගැන ආයෙත් කතාකරන්න.පුද්ගලිකව මමත් කැමති නැහැ.එත් ඒ දේ අමතක කරන්නත් බැරිනම් මොනව කරන්නද?

                               මගෙ බ්ලොග් එකට මෙහෙම ලිව්වට මිනිස්සුත් එක්ක මෙහෙම කතා කරන්න බැහැ.මොකද ලෝකෙට අපි කොච්චරනම් බොරු කරනවද?අපි පෙන්නනව අපි සතුටින් කියල ඇත්තටම හදවත කොච්චරනම් අඩනවද?එහෙම නේද?මම හරිද?සමාජෙත් එක්ක අපි එක එක විදියට ජීවත් වෙනව.ඉතින් මේ දේවල් එලියට දාන්න මම වගේම හැමෝම බය ඇති.

              අපි ආදරේ කරනකොට ඒ ආදරේ ලබන කෙනා ඒ වගේම ආදරයක් අපිට දෙනවනම් ආදරේ ගොඩක් ලස්සනයි.ප්‍රශ්න තියෙන්නත් ඕනෙ එතකොට තවත් ලස්සනයි.අපිට අතමිට සරු වෙලාවට හොද හොටෙල් එකකින් කන්නත් පිච්චිය අතේ නැති වෙලාවට පොඩි සයිවර් කඩේකින් කන්නත් ඔහු හෝ ඇයට හැකියාව තියෙන්නම ඕනෙ.

        ආදරේ මිනිස්සුන්ට විවිදාකරව දැනෙනව.ඔබට දැනෙන විදියට මට දැනෙන්න නැති වෙන්න පුළුවන් දැනෙන්නත් පුළුවන්.එහෙම තමයි ලෝක ස්වභාවය.මම මේ ලියන දේවල් වල තේරුමක් මටත් හිතාගන්න බැහැ.ලොකු පාළුවක් දැනුනු නිසා තමයි මෙහෙම ලියවුනේ.

     ඇයි මිනිස්සු ආදරේ පස්සෙ මෙහෙම දුවන්නෙ..උත්තර ගොඩක් තියෙනව..ආදරේ සල්ලි වලට ගන්න බැහැ කියල මිනිස්සු දන්නෙ නැතුවද මන්ද?අපි තම ජීවත් වෙලා තියෙන්නෙ බොහොම පොඩි කාලයක්.පොඩිත් නැහැ.මෙහෙම ඉන්නකොට මගේ හුස්ම නවතින්න පුළුවන්..කව්ද දන්නෙ ඉස්සරහ මොනව වෙයිද කියල.ජීවිතේ ලස්සනම කාලෙ ජීවිතේ විදිනවට වඩා විදවන්න වුනු එක ගැන මම ගොඩක් දුක් වෙනව..අනේ මම මගේ බ්ලොග් එක පාවිච්චි කරන්නෙ මගෙ දුක් අදෝනා කියන්නනම් නෙවෙයි..බ්ලොග් එක කියවන කෙනෙක් ඉන්නවනම් එයාල ඉන්නෙත් මගේ දුක අහන්න නෙවෙයි.එහෙම දෙයක් මම පෙන්නන්න හදනව නෙවෙයි.

                                              මම තාමත් ආදරේට ආදරේ කරනව..ඔයා නොලැබෙනව කියල හොදාකාරවම දැනදැනත් ආදරේ කරනව..කාලයට ඉඩ දීල හැමදේම බලාගෙන ඉන්නව..ජීවිතයම කාලයට බාරදීල හරිම සැහැල්ලුවෙන් දැන් ජීවත් වෙන්නෙ..තනිකම දැනෙන වාර අනන්තයි අප්‍රමානයි..ඒ වෙලාවටනම් හිතෙනව ආදරයක් තිබුනනම් කියල..

                 ආදරේට කතා කරන්න මම ෆෝන් එකට දාපු කාර්ඩ් ඔක්කොම අද මම විසිකලා.මොකද මට මගෙ ජීවිතෙ ආයෙත් ඕනෙ..මට ජීවත් වෙන්න ඕන නිසා.අතීතය සිහිනයක් විතරමයි..කවදාවත් හීන වල ඉන්න ජීවිතේ නවත්වන එක අපි අපිටම කරන ද්‍රෝහී කමක්.

බලාපොරොත්තු අපිව ජීවත් කරනවා..ආශාවන් සිහින මවනව..කදුළු අපිව නහවනව..



ආදරේ මායාවක් කියලත් හිතෙනව..
පුලුවන්ද ආදරේ නැතුව ජීවත් වෙන්න..

               ආදරය කියන්නෙ පුදුමාකාර බැදීමක්..හා හා පුරා කියල කුළුදුල් විදියට ඇතිවෙන ආදරේ ඒ විදියටම රැදෙනවනම් අපි කියන්නෙ සිරාවටම ලව් කරනව කියල..එතකොට වෙන්වුනාම එහෙම කියන්න බැරිද?පුළුවන්කම තිබුනත් අපි එහෙම කියනවද?මම දකින විදියට අපි ආදරේට ගරු කරන්න ඕනෙ.

   ආදරේ කියන්නෙ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක එකට ඉන්නව කියන එකම නෙවෙයි..කාමර ගානෙ ගිහින් ආදරේට තවත් වචනයක් එකතු කරන එකත් නෙවෙයි..මෙහෙම ආදරේ කරන කට්ටියත් ඉන්නව ඕනෙ තරම්..ආදරේ තුලින් අලුත් ජීවිතයක් ලැබිල හොදින් ජීවත් වෙනවනම් මම හිතන්නෙ සිරා ලව් එකක්.

            මේ මම දකින මම හිතන මට තේරෙන විදිය..සමහරවිට වැරදි වෙන්නත් පුළුවන්..ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනව...ඇති මොකද තවත් කතා කරන එක තේරුමක් නැහැ..

Saturday, November 9, 2013

අහම්බෙන් දුම්රියට ගොඩවූ මීතුරා ...

             මේ ලගකදී මට උදේ වැඩ රාජකාරියට යනකොට මගෙ ඉස්කෝලෙ යාලුවෙක් හම්බවුනා කෝච්චියේදී.මෙහෙම මගතොටේදී ඇරෙන්න වෙන විදියකින්නම් යාළුවො හම්බවෙන්නෙම නැහැ.මොකද එක එකා එක එක තැන්වල තැන්වල.දෙන්නෙක් තුන්දෙනෙක්ම රටත් ගිහිල්ල.අපිනම් තාම උඩරටටවත් ගිහින් නැහැ හරියකට.කොහෙදි හම්බවුනත් කතා කරන්නෙ ඒ දවස් වල කරපු කියපු දේවල්ම තමයි..මුත් ඇවිල්ල නියම කටර් එක.මොකාට උනත් කටගහගෙන යනවා.

       ඔහොම කතා කර කර ඉන්නකොට අපේ පංතියේ හිටිය එකෙක් ගැන කතාව ඇදිල ආව.ඒකට ඒ දවස් වල අපි කියන්නෙ අජුව කියල.තාමත් කියන්නෙ ඒ නමම තමයි.මොකද ඉස්කෝල වලදී දානනම් හැමදාටම රෙජිස්ටර් වෙනවා කියනවනෙ.මුටත් එහෙම තමයි..අපි හය වසරේ ඉන්නකොට අපේ පංතියේ නායකයා තමයි තුඩය.අපිත් එක්ක උදේ හවස ආව ගිය නිසා තුඩය මගෙ ලගම හිතවතෙක් වුනා ඉක්මනටම.

                දවසක් මොකක්ද මන්ද පොඩි සීන් එකකට අජුව පන්තිය පිටිපස්සෙ තව එකෙක් එක්ක එකම එක ගුටි පොරයයි.බැලින්නම් බණ්ඩා එක්ක තමයි දැන් මු රන්ඩු වෙන්නෙ.ඒ වෙලාවේ පංතියේ සර් කෙනෙක්වත් මැඩම් කෙනෙක්වත් හිටියෙ නැහැ.ගුටි පොරය ඉවරවුනේ අජුව බණ්ඩගේ කමිසෙ එක අතක් ගලෝල ගත්තට පස්සෙ.දැන් බණ්ඩ අඩනව හොදටම.හොදම වැඩේ කියන්නෙ දැන් අජුවත් අඩනව.අපි බඩ අල්ලගෙන හිනාවෙනකොට අරුන් දෙන්න තවත් අඩනව.එතකොට අපේ පන්තිබාර සර් තමයි බෝපිටිය සර්.අවුරුදු පනහක් විතර හැබැයි ඉන්නෙ කොල්ල වගේ.කොහොමහරි සර්ගෙ කනට ගිහින් තියෙනව අන්න සර්ගෙ පන්තියෙ ළමයි දෙන්නෙක් ගහගන්නව කියල.ආරංචිය ආව විතරයි සර් ආව පන්තියට.



"පන්තිනායකය කෝ? ආ තුඩේවත්ත නැගිටිනවා."
දැන් තුඩය වෙව්ලනව..

"කියනව බලන්න දැන් කව්ද පන්තියෙ ගහගත්තේ කියල?"

මොකුත් නැහැ සර් අහන්නත් කලින් තුඩය කිව්ව 

"සර් අමරසේනයි බණ්ඩාරයි තමයි ගහගත්තේ "කියල.

"එහෙනං එනව බලන්න ඔය කියන චන්ඩි දෙන්න එලියට"

        අපේ පන්තියත් එක්කම තියෙන දිග කොරිඩෝ එකට අජුවවයි බණ්ඩවයි ගත්ත විදියෙන්ම අපිට තේරුණා අදනම් මුන් දෙන්නටම සර් හොදට සලකනවා වගේ කියල.
බෝපිටිය සර් හයියෙන්ම ප්‍රශ්න අහන්නෙ බණ්ඩගෙන් වීම අපටත් ප්‍රශ්නයක් වුනා.

"හරි කියනව බලන්න එහෙනම් බණ්ඩාර මොකද වුනේ කියල?"

     බණ්ඩ අඩ අඩ කියපු දේවල් අපට හරියට අපිට තියා ස්ර්ටවත් ඇහුනද කියන්න මම දන්නෑ.ඔය ප්‍රශ්නෙම අජුවගෙන් ඇහුවම අජුව ආයෙත් හයියෙන් අඩන්න ගත්ත.සිරාවට කියනවනම් මේ පාර අජුවගේ ඇඩිල්ල බොරු කියල සර්ට තේරුණා කියල අපිට හිතුන.මොකද අපිටත් එහෙම හිතුනු නිසා.

     චටාස් බණ්ඩගෙ සුදු කම්මුල රතු වෙන්න තප්පර දහයක්වත් ගියේ නැහැ.දැන් ඉතින් අජුවටත් ඔය ටිකම තමයි අපි ඒක හොදට දන්නවා.සර් අජුවට ගහනකොට අජුව ඔලුව පාත් කලා.දැන් තමයි හොදම සීන් එක.ගහපු වේගෙට සර්ගෙ අත ලග තිබුණු කොන්ක්‍රීට් කණුවේ.දැන් සර්ගෙ මුනයි අතයි දෙකම රතු වෙලා.එක පාරටම 

      චටාස් චටාස් අජුවට හොදම එකෙන් දුන්න.වැදුන කියන්නෙ ඇගිලි පහම හිටියද මන්ද?පන්තියම හ්ම් සද්ද නැහැ.
දැන් තුඩයගේ වාරය ...

"තුඩෙවත්ත මෙහෙට එනව.
ඇයි තමුසෙ මට කිව්වෙ නැත්තෙ පංතියෙ මෙහෙම දෙයක් වුණා කියල?"

    චටාස් යනවා පන්තියට.තුඩය ඇඩුවේනම් නැහැ.මටත් තුඩය ගැන දුක හිතුන.මොකද හිත හොද කොල්ලනෙ. 

        සර් අපේ පන්තියටම එදා හොදටම දෙහි කැපුවා..ඔන්න එදා තමයි හාහා පුරා කියල අපේ පන්තියෙ සෙට් එක ගුටි කන්න පටන් ගත්තෙ.බෝපිටිය සර් අපේ පන්තියභාරව අවරුදු තුනක් හිටිය..ඒ අවුරුදු තුනෙන් දෙකකම අපේ මොනිටරය තුඩයම තමයි..පන්තිය අතුගාල තිබුනේ නැතත් ගුටි වැදුනෙ තුඩයට..


          දන්නෙම නැතුව මම බහින්නත් කිට්ටු වුණා..මගෙ යාලුවට සමුදීල මම ට්‍රේන් එකෙන් බැස්ස..බණ්ඩනම් දැන් ගුවන් හමුදාවේ හොද වැදගත් නිලධාරියෙක්..අවරුදු තුනකින්වත් දැක්කෙ නැහැ..අජුවනම් නිතරම සෙට් වෙනව..ඌ තාම මගෙ බෝට්ටුවෙ... 

Monday, November 4, 2013

මට මතකයි පැටිය කාලෙ

   
      

         මම හිතන්නෙ මේ ලෝකෙ ඉවර වෙන්නෙ නැති එකම දේ ප්‍රශ්න වෙන්න ඕනෙ.දැන් බලන්න කාටද ප්‍රශ්න නැත්තේ කියල.සල්ලි විතරක් තිබුනට ලොකු ලොකු වාහන වල ගමන් බිමන් ගියාට හිතන්න එපා මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ කියල.සමහරවිට පොඩි පැල්පතක ජීවත් වෙන මනුස්සයට වඩා තට්ටු ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙන්න බැරිත් නැහැ.සමහරුන්ට පවුල් ප්‍රශ්න,ගෙවල් දොරවල් වල ප්‍රශ්න තවත් සමහරුන්ට සල්ලි ප්‍රශ්න.මනුස්ස ආත්ම භාවයක් ලබන්නත් ගොඩක් පින් කරල තියෙන්න ඕනේ කියනවනෙ.මෙහෙම කියන එක හරීමද දන්නෙ නැහැ ඒත් මට වෙලාවකට හිතෙනව අපි එහෙම පින් කරලා ලබාගත්තු මේ මනුස්ස ආත්මෙ ඇයි මෙහෙම දුක් විදින්නේ කියල.අපේ පන්සලේ හාමුදුරුවොනම් කියන්නෙ කොච්චර ලොකු කන්දක් නැග්ගත් ඒ වගේම ලොකු පල්ලමකුත් කවද හරි හම්බ වෙයි කියල.අනේ මන්ද කවදා කොහොම ඕව හම්බ වෙයිද කියල.පල්ලම ලැබෙනකම් ඉතින් අපිත් යනවා.

          මේ දවස් ටිකේ අපේ අම්මගේ අම්මත් ඒ කියන්නේ අපේ ආච්චි අම්මත් අපේ ගෙදර ඇවිල්ල.මොකද එයට හොදටම උන හැදුණු නිසා අපේ ගෙදර ආව.වෙනදට ඉන්නෙ අම්මලාගේ මහ ගෙදර.එහෙ ඉන්නෙ අපේ ලොකු අම්මගෙ දුවයි එයාගේ මහත්තයයි එයාලගේ පුතයි.ආච්චිව බලාගන්නේ අපේ ලොකු අම්මගේ දුව.ආච්චිට දෙයියන්ගේ පිහිටෙන් ලොකුම අමාරුවක් නැහැ.වයස නිසාම දැන් ටිකක් ඇග දුර්වල වෙලා.ආච්චි ඉන්න නිසා අපිට දැන් පොඩි ගතියකුත් තියෙනව.මොකද එයා නිතරම මොනවහරි කියනවනේ.අම්ම ඉස්සර වැඩට ගියාම මව බලාගත්තෙ ආච්චි.එතකොට මව මොන්ටිසෝරි එක්කගෙන ගියෙත් අච්චිම තමයි.හැමෝම කියනවා අච්චිම ඇරෙන්න වෙන කාටවත්නම් ඉස්සර උබව බලාගන්න බැහැ කියල.මොකද මම ඉස්සර ඒ තරමටම කියනදේ අහනවලු.

                අම්මෝ ඉස්සර අපේ අම්ම මට ගහනවා කියන්නෙ ආයේ මොකුත් නෑ පලු දාන්න වදිනවා.මම දන්නවා ඉතින් ඒ ආදරේට කියල.මම ඉතින් හු තිය තිය ගේ වටේ දුවනව.මාව බේරගන්න එන්නේ අපේ පල්ලෙහා ගෙදර හිටිය ආච්චි.මොකද අපේ ආච්චි ඉන්නෙ අපේ ගෙදර නෙවෙයිනෙ.පහල ගෙදර ආච්චිට ගමේ හැමෝම කතා කරන්නෙ බබාලගේ අම්ම එහෙමත් නැත්නම් බබාලගේ ආච්චි කියල.මොකද එයා ඒ තරමට පොඩි එවුන්ට ආදරෙයි.අම්ම මට ගහනකොට එපා දුවේ ගහන්න කියල එයා තමයි මව බේර ගත්තේ.අපිට ඉතින් සෙනසුරාදා කියන්නෙ හොදටම නටන දවස.මොකද එදාට අම්මත් වරුවක් වැඩට යනවා.මොන සෙල්ලම කලත් අම්ම එන වෙලාවට කොහේ හිටියත් කොල්ල ගෙදර.නැත්නම් ඉතින් දන්නව පාර වදිනවා කියල.

          ඉස්කෝලෙ නිවාඩු කලේ එනව කියන්නෙ මුළු දවසෙම සෙල්ලම තමයි.ක්‍රිකට් ගහනවා , ගස් පයිනවා , හොරා පොලිස් දානවා , සරුංගල් අරිනව , අන්තිමටම ඇලට පැනල නාලම තමයි ගෙදර එන්නෙ.හොරා පොලිස් හරි හැංගි මුත්තං හරි දැම්මොත් එහෙම සමහර දවස් තියෙනව මුළු දවසම හොයන්න වෙන වෙලාවලුත්.හැමෝවම මඩවනවා.එක දවසක් කොහොමහරි මට හොයන්න සෙට් වුණා.දැන් ඉතින් කොල්ලෝ දහයක් විතර ඉන්නව.ඔය ඔක්කොම හොයපල්ලකො ඉතින්.මමත් පැය දෙක තුනක් කට්ටකාල බැරිම තැන කරන්නම් හොද වැඩේ කියල ගෙදරට ඇවිත් ටීවී එක දාගෙන හිටිය.අන්තිමට කට්ටියම මව හොයනවා.මාව කොහොමහරි මාට්ටු වුනා.අපේ එවුන් ටික ඉතින් මගේ පලු ඇරිය.අන්තිමට මට කන්න තිබුණු බිස්කට් ටිකත් කල තමයි මුන් ටික ගෙදරින් ගියෙ.

               ඒ දවස් වල අපේ වෙල් යායවල් වල හොදට වතුර පිරුණම අපි ඔක්කොම වෙලට ගිහින් වතුර නානව.අන්තිමට සෙට් එකම මඩකනයි රංචුව වගේ.අම්මල කට කැඩෙනකම් කිව්වත් පුතේ වතුරට බහින්න එපා මී උණ තියෙනව කියල අපි නෙවෙයි ඒවා ඒ දවස් වල කනකටවත් ගත්තෙ.හැබැයි අම්ම ගෙදර එනකොට කොල්ල සුද්ද වගේ ගෙදර.දවසක් බබාලගේ ආච්චි ඇවිත් කිව්වා අපේ අම්මට දුවේ කොල්ල කිව්වට අහන්නෙ නැහැ කොල්ලෝ රැලත් එක්ක වෙලට පනිනවා කියල.එදානම් මට අම්ම දුන්න ගේ ඇතුලට දාගෙනම.හැබැයි මටත් ලැජ්ජ නැහැනෙ පහුවෙනිදත් වෙලට පැන්න.දැන්නම් තේරෙනවා කලේ වැරදි වැඩමයි කියල.කොලු කාලෙට හැමෝම ඔහොමනෙ.අමතක වුනා අපි වෙලට ගිහින් කරන්න ආසම දේ තමයි බැදලා ඉන්න හරක් ලෙහන එක.මොනව වුනත් කැත වැඩේ.හරක් අයිතිකාරයට වෙල් යාය වටේම ඇවිදින්න වෙනවා ඉතින් හරක් ටික අල්ලගන්න.ඉතින් කුණුහරප කෝටියයි..සමහර ඒවා මම අදටත් අහල නැහැ..මතක් වෙනකොටත් ලැජ්ජා හිතෙනව..

        අපේ ගම ටිකක් ලොකු නිසා අහල පහල පන්සල් තුනක් විතර තියෙනව.අපි ඉතින් කටින පෙරහැර අරින්නෙ නැහැ.පස්සෙන්ම තමයි.නටලත් තියෙනවා ගිනිබෝල කැරකුව වගෙත් මතකයි මල් බයිසිකල් හදන්නෙ මාසෙක විතර ඉදල.දවසක් අපි පහක් හයක් විතර පස්සෙන් යනවා.පෙරහැර තව ඉස්සරහට ගිහින් ආපහු හරවගෙන එන්න ඕනේ.ඉතින් අපි ඒ ටික යන්නේ නැතුව ටිකක් ඉස්සරහට ගියා.මොකද ඉස්සරහ තියෙනවා ලොකු ගල් වලක්.ඒක දැන් අත් ඇරල.ඔතන තියෙනවා පොඩි ලී මෝලක්.ඒකෙ මුදලාලිය ලෝක කපටිය.මිනිස්සු රවට්ටලා දෙක පහට තමයි පොල් ගස් එහෙම ගේන්නෙ.ඔතන තිබුන පොල් කොට හරියටම මතක නැහැ කොහොමහරි දහයක් විතර කියමුකො.අපේ එකෙක් කිව්වා මචං මේ ටික දාමු ගල් වලට කියල.වචනෙ විතරයි පොල් කොට ටික ගල් වලේ.මුදලාලියටත් ඇහැරුනා.පෙරහැර පැත්තක දිව්ව කියන්නෙ හු තිය තිය..ඇත්තට අපි කරපු ජාති.ඉදල හිටලා මළගෙදරක පොඩි නයිටක් ගැහුවොත් නිදිමත යවාගන්නෙත් ඕව කියල හිනා වෙලා.

       ඒ දවස් වල අපිත් එක්ක ජිල් බෝල ගහපු එවුන් දැන් කසාදත් බැදලා ළමයිනුත් ඉන්නව.කාලෙන් කාලෙට මොනවා හරි එනවා වගේ කාලයක් තිබුන ජිල්ම තමයි.දවසක් අපේ අම්ම මගෙ ලොකු ජිල් බෝතලයක්ම ලිදට දැම්ම.ඊට පස්සෙ ලිද ඉහින දවසක මම මඩ අස්සෙ තිබිල ජිල් බෝල දහයක් පහළොවක් ඇහිද ගත්ත.මමත් ඉතින් ඒ දවස් වල හොද පොරක් තමයි.ජිල් ගහපු උන් ඉන්නවනම් දන්නව ඇතිනෙ කිරණව කියන්නේ මොකක්ද ලියල.මම තමයි හොදටම කිරන්නෙ.හොදටම කිරණ එකටත් මම ඔට්ටු අල්ලලා දිනලා තියෙනව.ජිල් ගහනකොට කුරුව කියන්නෙ මොකක්ද කියලත් අහල ඇතිනේ තින්...හැබැයි වැඩිය කුරුව දාන්න නම් යන්න එපා.මොකද පරවියන්ගේ කුරුව දානව කියල එකකුත් තියෙනව කියල මම අහල තියෙනව..ඒ ඇවිල්ල වෙනමම කුරුවක්නේ..එහෙම කුරුව දාන කොච්චරනම් ඉන්නවද?අපිත් දාල තියෙනවා..හිකිස් විහිලුවට වගේ...

      පොඩ්ඩක් ඉස්සර විත්ති ටිකක් මතක් වුණා.ඒකයි පොස්ට් එකක් දාන්න හිතුනේ..ජය වේවා ..

Friday, November 1, 2013

අතීතයට ගොස් අනාගතයෙන් වර්තමානයට පැමිණියෙමි..





වසරේ තවත් මසක් අවසන් විය 
ලැබුණු දේට වඩා නොලැබුණු දේ බොහෝය 
බිදුණු පැතුම් බලාපොරොත්තු 
තවමත් එතැනමය මුල් බැසගෙනය 

තවත් එක් මසක ඇරබුමකි 
ජීවිතයේ ඇරබුම නොපෙනෙන දුරකය 
සැමදේහි විසදුම එක් තැනකය 
එක් දෙයහි විසදුම ජීවිතයේම විසදුම වී හමාරය..

ස්මාර්ට් ෆෝන් , පීසා , සැම්මැරීන් නැත 
සයිවර් කඩෙන් බිත්තර රොටී සමග පරාට ය 
ඇවකාඩෝ , ෆලූඩා අයිස් ක්‍රීම් වෙනුවට 
ප්ලේන්ටි සමග හකුරු ය 

පොල්ගහ සෙරෙප්පුවට මැදිවූ දෙකකුලෙහි 
මැද සිදුරු වූ , විලුබ පෙනෙන සුදු වූ ඩෙනිම 
ඉරුණු බෑගය දෙඅතින් වසාගත් 
මවාගත් සිනහවෙන් දුක් විදින්නෙකි ..

මසක් වැඩකර කිසිදු නොලබන 
දුක්වින්දද ආත්මය කදුලක් කර නොගන්නා 
ජීවිතයට නවාතැනක් සොයන කල්හි 
හමුවූ නවාතැන නිවසක්ම වුයේ නම්...

වාසනාවේ රන්දොරටු විවර වීමට 
කල්ගතවන විට මතුවන ආසාව 
මට මෙන්ම නුබට දැනුනු දවසට 
දොරටු වසාදැමීම බලා සිටීමද අපහසුය... 

Monday, October 28, 2013

මිත්‍රත්වයේ සහෝදරත්වය

හිතවත් සහෝදරයෙකුට ලියමි...

                       මම මෙහෙම පොස්ට් එකක් දාන්න තීරණය කලේ ඊයෙ රෑ මගෙ දුරකතනයට ඇවිල්ල තිබුණු කෝල්ස් තුනක් නිසා.කෙටියෙන්ම කියනවනම් අද මම මෙහෙම ජොබ් කට්ටක් කරගෙන ඉන්නෙ මම කියන්න යන කතාවේ හැංගිලා ඉන්න මනුස්සය හින්ද.මම දන්නවා මේ පොස්ට් එක එයා කියවනව කියලත් ඒ වගේම අනිත් අතට මට කෝල් එකක් දෙනව කියලත්.මොකද ඒ තරමටම අපි හිතවත්.මගේ හැම කුනුගොඩක්ම සියු දන්නව.කතාවට විතරක් මම එයට සියු කියල කියනවා.ඒත් ඇත්තටම එයාගේ නම සියු නෙවෙයි.සියු කියන්නෙ මාරම හිත හොද හැමෝටම තේරුම් ගන්න බැරි ඒත් සිරා කොල්ලෙක්.මගෙ හැම දුකක්ම අහගෙන මට පොඩි ගැම්මක් දෙන්න එයා හැමවෙලාවෙම මාත් එක්ක හිටිය.තාමත් ඉන්නව.මමත් එහෙමයි මට කොච්චර වැඩ තිබුනත් සියු කතා කරලා කිව්වොත් පොඩි කේස් එකක් පොඩ්ඩක් ඇවිල්ල පලයන් කියල මමත් හැරෙන තැපෑලෙන්ම යනවා.සියු ඔයා දන්නවනේ කව්රු මොනවා කිව්වත් මමයි N අයියයි ඔයාව තනි කලේ නැහැ කියල.වෙලාවකට හිතෙනවා ඔයා ගම දාල ගියාද කියලත්.මතකද මම සිකුරාදා ඔයාට කියපු දේවල්.මමත් මේ මහලොකු මිනිහෙක්නම් නෙවෙයි ඔයාට අවවාද අනුසාසනා දෙන්න තරම්.හැම මනුස්සයම එක්ක ඉන්න නිසා මටත් එහෙන් මෙහෙන් ටිකක් පණ්ඩිත කතා කියන්න පුළුවන්. 



                    මම උසස් පෙළ කරලා මෙලෝ රහක් නැතුව ගෙදරට වෙලා ඉන්නකොට සියු තමයි මට කිව්වේ මේක කරපන් මේක හොදයි උබට කියල.සියු ඉගෙන ගත්තු තැනින්ම තමයි මමත් ඉගෙන ගත්තෙ.හැබැයි ඉස්කෝල දෙකක්.මට වඩා අවරුදු දෙක තුනක් ලොක්ක වැඩිමල්.ඒත් අපි සෙල්ලම් කලේ එහෙම එකට.හැමෝම වගේ මමත් හිතාගෙන හිටියේ දොස්තර මහත්තයෙක් හරි ඉජිනේරු මහත්තයෙක් වෙන්න වුනාට මම මෙහෙම පිස්සු නටලත් දැන් ඉන්න විදිය ගැන ගොඩක් සතුටු වෙනවා.මම දැන් ඉන්න ෆීල්ඩ් එක මම කවදාවත් හිතුවෙවත් නැත දැනගෙනවත් හිටියේ නැති පැත්තක්.කොටින්ම කියනවනම් මෙහෙම දෙයක් තියෙනවද කියලවත් දැනගෙන හිටියේ නැහැ.සියු තමයි මට මේ හැමදේම කියල දුන්නේ.ඉතින් සියු වැඩිය එක එක දේවල් ගැන හිතන්න යන්න එපා.මොකද අන්තිමට කොහෙවත් නැති දෙයක් අපිට පාත් වෙන්න පුළුවන්.ප්‍රශ්න නැත්නම් ජීවිතේ කිසිම රහකුත් නැහැ තමයි.එහෙම වුනා කියල ඒව මගහැරලා යන්න එපා.මම මෙහෙම කිව්වට තරහ වෙන්නත් එපා.අපි ඕනෙම දේකට ඔයත් එක්ක ඉන්නවනෙ සියු.අනිත් එක අපි කවදාවත් ඔයාට කරදරයක් වෙන්න දෙන්නෑ.මිනිස්සු විවිදාකරයි තමයි.අපි ඒ ඒ විදියට හැඩගැහෙන්න ඕනේ.සමහර මිනිස්සු කියනවා ගම්වල ඉන්න මිනිස්සුන්ට වඩා ටවුන් එකේ ජීවත් වෙන මිනිස්සු නරකයි කියල.සමහරවිට එහෙම වෙන්න ඇති.මම දන්න තරමින් මට හිතෙන විදියට ගම තමයි දැන් නරක.කාටද වරදින්නෙ ඌට හිනාවෙන්න තමයි හැමෝම බලාගෙන ඉන්නෙ.හැමෝම කිව්වට බහුතරයක් හොද මිනිස්සු.ඵල ඇති රුකටනේ ගල් පොලු හැමදේම ගහන්නේ සියු.

                          හිතන්න එපා මේ ලෝකෙන් ඔය තනිවෙලා ඉන්නව කියල.එහෙම නෑ..කාටවත් එහෙම කරන්නත් බැහැ.හැම කලුවලාවකම රිදී රේකාවක් තියෙනවා වගේ හැම මනුස්සයෙකුගෙම මොනවහරි හොද දෙයක් තියෙනවා.විකාර හිතන්න එපා.ඔයාගේ පාඩුවෙ ගේම ගහගෙන යන්න සියු.මටනම් අවුල ඉතින් ඔය ගියපු එක.එත් අවුලක් නැහැ ආයෙත් එනවනේ අපිට සෙට් වෙන්න.කොහේ හිටියත් හොදින් ඉන්න.හැමදාමත් කියනවා වගේ රෑට කන්න නම් එපා.දැන්නම් මහත වැඩියි පුතෝ....අනිත් එක කාලබීල දෙයියනේ කියල වැටිලා ඉන්න තැනක් තියෙනවනම් තව මොන ප්‍රශ්නද සිදු?මොකද වැස්සට තෙමි තෙමි හිසට සෙවනක් නැතුව ජීවත් වෙන මිනිස්සු කොච්චරනම් ඉන්නවද?මේවා ගැන හිතනකොට ඔයාට මොනවද සියු තියෙන ප්‍රශ්න?ඔන්න අන්තිමට මම මේ කියන්නේ අයෙ විකාරනම් කරන්න එපා.එහෙනම් සියු ආයේ සෙට් වෙමු...ජයවේවා ..  

Wednesday, October 23, 2013

මියැදුණු අතීතයේ පරාජිත වූ ප්‍රේමය.....




දුවමි සැමතැන ඔබ සොයා මම 
සිතින් සැමදා දුක දරා 
හති වැටුණු විට තැවෙන්නෙමි මම 
පමා වේ යයි සිත සිතා 

පා නගන විට සුමුදු සයනට 
නොසිතුවෙමි හැර යයි කියා
සුමුදු දෙකුපුල් පහස වින්දෙමි 
ජීවිතය ඔබ ලග තියා 

උරහිසට පා තබා හිනැහුණු 
වෙනස් වූ නුබෙ සිනාවන් 
මියැදුනා මතකය ඉතිරිකර
නොඑන්නට එක වතාවක්  

සුළග සැරබව දැනසිටිමි මම 
හමනවිට ඒ පවන් වැල් 
වෙරදරා බැද තබාගැනුමට 
ඵලක් නැත ඒ පවන් වැල් 

පුරුදු තනිකම ඉතිරි වී ඇත 
වෙනදමෙන් සිත ගත පූරා 
විදවමින් පෙම් බදින්නෙමි මම 
තනිකමෙහි රජ වූ නිසා 

එලිය බිදිමින් අදුර වැටෙන තුරු 
හිදින්නෙමි මා මග බලා 
යලිදු සිටිනෙමි එලිය එනතුරු 
දිගන්තය දුර වැඩි නිසා...

Tuesday, October 15, 2013

දිනූ මව්බිම සුරකිමු

                      මටනම් හිතාගන්න බැහැ ඇත්තමයි දැන් මේ ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙළද කියල.මොකද දැන් ඉන්න බහුතරයකට හරි ප්‍රතිපත්තියක් නැහැ.මේ කියන එක නෙවෙයි මේ කරන්නෙ.කට්ටියට මතකද දන්නෑ කාලයක් ලංකාවේ තිබුණු යුද්ධය.හුගක් අයටනම් එහෙම එකක් තිබුනද කියලවත් දැන් මතක නැහැ.ඒ තරමටම මිනිස්සු වෙනස් වෙලා.මොන දේ උනත් ඒක අපේ ජීවිත වලට කොච්චරනම් බලපෑම් ඇතිකලාද?ඒ කුරිරු යුද්ධය නිසා අපිට ලංකාවේ කොච්චරනම් ජීවිත අහිමි උනාද?ඒ දවස් වල උදේට ගෙදරින් එලියට බහින මනුස්සය හවසට දකිනකම් විශ්වාස නැහැ.මොකද ඒ තරමටම රටේ තත්වය හොද මදි.මුළු ලෝකයක්ම එක හඩින් කිව්වේ කොටිය තමයි ලෝකෙ දැනට ඉන්න දරුණුතම ත්‍රස්තය කියල.එහෙම කිය කිය ඒවටම උදව් කරපු උනුත් නොහිටිය නෙවෙයි.එහෙම එවුන් පිටරටවලත් හිටිය අපේ රටෙත් හිටිය තාමත් ඉන්නවා.අවුරුදු තිහක් පුරාවටම තිබුණු ඒ පිළිකාව ලංකාවේ , අම්මගෙ කිරි බිව්ව එඩිතර කොල්ලන්ට කෙල්ලන්ට සුවකරලා දාන්න ගියේ අවුරුදු පහකටත් වඩා අඩු කාලයක්.සමහරමිනිස්සුනම් මේවට හිනත් වුණා.කොහොම උනත් හැමෝම දැනගන්න ඕනෙ අද අපි බය නැතුව පොළොවේ පයගහල ඉන්නේ කව්රු නිසාද කියල.අම්මෝ ඔන්න කලින්ම කිව්වා මම මේ කාටහරි කඩේ යනවනම් නෙවෙයි.මම මේ කතා කරන්නෙ ත්‍රිවිද හමුදාවයි , පොලිසියයි , සිවිල් ආරක්ෂක බලකායයි ගැන.අපේ රණවිරුවෝ එදා අපේ රට වෙනුවෙන් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් වන්නිකරයේ සටන්වැදිලා බේරලා දුන්නු මේ පුංචි මුතුඇටය අපි දිවිහිමියෙන් රකින්න ඕනේ.මට මතකයි අපිටත් ඒ දවස්වල මාරම ෆිට් එකක් තිබුනේ.මේ කියන්නෙ 2007-2008 විතර.අපි එතකොට උසස් පෙලට පන්ති යනව.යුද්දෙ දරුණුතම කලේ.අපේ කොල්ලො එකම එක අඩියක්වත් පස්සට තියන්නෙ නැතුව ඉදිරියට ඇදෙනවා.දවසින් දවස ඇහෙන්න තිබුනෙ සතුට දනවන පුවත්.කට්ටියට මතකයිනේ නේද?මට හොදටම මතකයි යුද්දෙ අපි දිනුවට පස්සේ ගම්පහ ටවුන් එක හරියට සැණකෙළියක් වගේ.අපි එතකොට ලංකාවේ ප්‍රසිද්ද ගුරුවරයෙකුගේ පන්තියක.ටවුන් එකේ සද්දෙ දැන් එන්න එන්නම වැඩි වුනා.අපිට සතුට කොච්චරද කියනවනම් බැරිමතැන සර් කිව්වා කැමති කෙනෙක් ඉන්නවනම් එලියට ගිහින් සතුට සමරලා එන්න කියලත්.අපි දැන් ජීවත් වෙන්නෙ හීන ලෝකෙකනම් නෙවෙයි.ගොඩක් උදවිය හිතාගෙන ඉන්නෙ තාමත් මේක හීනයක් කියල.ඇත්තටම මේක සැබෑවුනු ලොකුම හීනයක්.මම හිතන්නේ මම හරි.



                         මම අහගෙන දවසක් කොච්චියේදී එක මනුස්සයෙක් කියනවා ඉස්සර ගෙවල් වල සැමියයි බිරදයි දෙන්නම වැඩ රාජකාරි වලට කොළබ පැත්තට එනවනම් ඒ දෙන්න යන්නෙ එන්නෙ කොච්චි දෙකක.එහෙමත් නැත්නම් එකම කෝච්චියෙ කෙළවරවල් දෙකක.මොකද තම තමන්ගෙ පවුලෙ උදවියගේ ජීවිත ඔවුන් මත රැදිලා තිබුන නිසා.ඒ තරමටම ජීවිතේ කොයි මොහොතෙද කියල විස්වාස නැහැ.සමහරවිට රජ වීදිය පැත්තෙ එන යන අයත් මේ දේවල් වලට මුණ දීල තියෙනව ඇති.එත් මෙහෙම ඉක්මනට මිනිස්සුන්ට මේ දේවල් කොහොම අමතක වෙනවද කියල මටනම් තේරෙන්නෙ නැහැ.සමහරවිට මිනිස්සුන්ට මතක ඇති ඒක දන්නෙ තම තමන් විතරයි.මම හොදට ඔය දේවල් වලට මුණ දීල තියෙනවා.මොකද අපේ අම්මගෙ මල්ලි බැදලා හිටියෙ කටුනායක ගුවන් තොටුපලේ වැඩකරන කෙනෙක්.බැදලා හිටියෙ කිව්වට තාමත් එයාම තමයි.ඉතින් මතකනෙ ගුවන් තොටුපලටත් කොටි බෝම්බ දැම්ම.අන්තිමට උන්ට අපේ කොල්ලො සැලකුව හැටි එහෙම මතක ඇතිනේ.ඉතින් ඔය බෝම්බ දාපු වෙලාවෙ අපේ නැන්දත් වැඩ.ඇත්තටම අපේ මාම ගොඩක් බය වුණා.අපිත් ඒ වගේම තමයි.ටික වෙලාවකින් නැන්ද කෝල් කරලා කිව්වා මම කරදරයක් නැතුව ඉන්නවා කියල.ඊට පස්සෙ තමයි හැමෝටම ලේ ටිකක් ඉනුවේ.මේ දේවල් වලට මුහුණ දුන්න කෙනෙක් තමයි දන්නෙ තත්වෙ කොහොමද කියල.

                    මම මේ පොස්ට් එක දන්නා හිතුවේ මේ දවස් වල අපේ රටේ වෙන දේවල් දිහා බලල.දැන් දැන් අහන්න තියෙන්නෙ මාරම නිව්ස් තමයි.වෙලාවකට හිනත් යනවා.ඉස්සරට වඩා කොළබ දැන් කොච්චරනම් ලස්සනද?ඇත්ත කතා කරනවානම් ඒක තමයි ඇත්ත.හැම ප්‍රදේශයක්ම නැති වුනාට සමහර පැති තියෙනවා මේ ලංකාවද කියල හිතාගන්න බැහැ.දැන් ඉතින් කියයිද දන්නෑ උබ ලස්සන දැකල නැහැ කියල.මොනවා උනත් ඇත්ත කියන්න ඕනේ.දන්නවද කව්ද මේ දේවල් මෙහෙම ලස්සනට හදන්න 90% ක්ම වගේ උදව් කරන්නෙ කියල.අපේ හමුදාවේ අපේ රට අපිට ආපහු උරුම කරලා දුන්නු අපේ ශ්‍රී ලංකීය ලේ වලින් හැදුනු කොල්ලෝ.දැන් ඔවුන් රට ගොඩ නැගීමට දෙන රුකුල මම හිතන්නෙ වෙන කිසිම රටක දකින්න ලැබෙයි කියල.රටේ පිනට උපන් මෙවන් පුතුන් දියණියන් අප අපේ දිවිහිමියෙන් රැකගතයුතුම නේද?රණවිරුවනි රජ වීදියේ අප ඔබට මෙසේ ආචාර කරමු...

Monday, October 7, 2013

මිලින වූ මල්දම් අතර වූ ගෙත්තම්





ලියන්නට එක පද වැලක් ඔබේ හුස්ම පොදෙහි 
බිය වැදුණු හදවත එක්තැන් කොට 
ජීවිතය ජිවත්කරන්නාවූ බලාපොරොත්තුවකට 
එක මොහොතකට දුන්නාවූ ඉඩකඩෙහි ......

ලන්තෑරුම් එලියට දිවයන කණාමැදිරි 
නොනිදන නිහඩබව යටපත්කර 
අදුරට පෙම් බදින රැහැයි රෑන 
සිත්තම් කරනා ගෙත්තම අදුරට පමණක්මද ....?

නොසන්සුන් වුවද නිසොල්මන් නොවන 
හැගීම්බර වූ පෞවුරුෂත්වයේ යටගියාව 
සනිටුවන් කිරීමට දියවන්නාවූ ගල් පිළිමය 
නිරායාසයෙන්ම ලියලනු නොඅනුමානය .....

හදවතෙහි කොනක හෝ එක් ලේ බිදක 
පැවතියේනම් ආදරයට වූ අනුකම්පාවක් 
රුදුරු නොවනු ඇත ප්‍රේමයේ විලාපයන් 
ඝන අදුරට පමණක් පෙම් බැදුමට .....


මිලින වූ මල්දම් අතර වූ ගෙත්තමින් 
සිත්රුවනෙහි යහන්ගැබට පුළුන් රොදක 
මිහිරියාව අමතක වීමට තරම් 
සිතක් වුයේද පෙනෙන නොපෙනෙන .....  

Thursday, October 3, 2013

මේ දවස් වල .....

                    මම මේ දවස් වල ටිකක් විතර පිස්සු වැටිලා ඉන්නෙ.මොකද මගේ ජිවිතේ තාමත් මම යැපෙන්නෙ මගේ අම්මගෙන්.අම්ම දෙන සල්ලි වලින් තමයි මම කොහොමහරි මගෙ වැඩ ටික කරගන්නෙ.මගෙ අම්ම තරම් මම මේ ලෝකෙන්ම වැඩියෙන්ම අදය කරන කෙනා.මට මගේ අම්ම නැතුව එකම එක මොහොතක්වත් ඉන්න බැහැ.අම්මටත් එහෙමම තමයි.මටම වෙලාවකට ලැජ්ජා හිතෙනව මම තාමත් අම්මගෙන් සල්ලි ඉල්ලනකොට.එත් මම දන්නව මගෙ අම්ම ගැන.මට වෙන කවුරුවකුත් නැහැ එහෙම දේකට.මම ඉවසන තරම් මම හිතන්නෙ වෙන එකෙක් එහෙම නම් කවදාවත් ඉවසන එකක් නැහැ.මොන හේතුවක් නිසා හරි මට හොදට ඉවසන්න පුළුවන්.ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනෙ.මොකද ඉස්සර මිනිස්සු ඔය වගේ දේවල් කිව්වේ කට කහනවට නෙවෙයිනෙ.හැමෝම කියන්නේ මෙච්චර කාලයක් කට්ට කාපු එකේ ඔහොමම ඉවසගෙන ඉදපන් කියල.මටනම් හිතාගන්න බැහැ තව කවද වෙනකම් මෙහෙම ඉවසන්නද කියල.ඇත්තටම මම මේ දවස්වල යාලුවන්ගෙන් දන්නෙ නැති නොම්බර වලින් එන කිසිම දේකට උත්තර දෙන්නෙ නැහැ.මොකද මම කියන දේවල් අපේ එවුන් පිළිගන්නෙත් නැහැ.ඒකට වරදක් කියන්නත් බැහැ ඉතින්.මොකද මම දන්නවා මම කියන්නේ එත්ත කියල ඒත් එක දන්නේ මම විතරයිනෙ.දන්න කීපදෙනෙක් නැතුවමත් නෙවෙයි.ඔයාලට කියන්න අද මම මගෙ පඩි ගන්න කොළ පුරවගෙන අපේ ලොක්කගෙන් අත්සන් කරගෙන අදාල තෙනට ගියා.කොහොමත් ඉතින් ඕක අරයල මෙයාල අත්සන් කරලා එනකොට තව දවස් දෙක තුනක්නම් යනවමයි.මොනවා කරන්නද.

                     ඔන්න අද අපේ ඉස්කෝලෙ එකෙක් කතා කරලා කියනවා මචං මේ පාරවත් අපේ batch trip එක යන්න උබ එනවද කියල.මට නේද ඉතින් පිස්සු වගෙ.මොකද ගිය පාරත් මට යන්න බැරි උනා.ඇත්තටම බැරි උනා නෙවෙයි මම ගියෙ නැහැ.මොනවා කිව්වද මන්ද කොහොමහරි කටට ආපු හැමදේම කියල අන්තිමට කිව්වා මට එන්න වෙන්නෙ නැහැ කියල.මම දන්නවා ඌ දන්නවා කියල මම කිව්වේ බොරු කියල.අවුලක් නැහැ මොනවා කරන්නද?මේ පාරත් ඉතින් මම තාමත් ඒ බෝට්ටුවෙම තමයි.මම මොනව වුනත් සැලෙන්න නැහැ.කොහොමහරි ගොඩ යනකන්ම හබල් ගානවා.මොකද දැන් මට ගොඩ යන්න වෙලා තියෙන්නේ තනියම.ඇත්ත කොල්ලෙක් වුනාම තනියම ජීවිතේට මුණදෙන්න ඕනෙ.එතකොට තමයි ජිවිතේ හොදටම විදින්න පුළුවන් වෙන්නෙ.මේ දවස්වල ජිවිතේ විදවන සමහර දේවල් ඉස්සරහට විදින්න ලැබෙයි කියල තමයි මමනම් හිතන්නේ.මොකද කන්දක් නගින්නම ඕනෙයි කියනවනේ පල්ලමක් බහින්න.හුගක් වෙලාවට හිතෙනව මම දැන් කන්ද මුදුනට ඇවිත් වගෙයි කියල ඒත් උඩ බලනකොට මුදුන පේන්නවත් නැහැ.මොකද කන්දක් උනත් කෙලින්ම නගින්න බැහැනෙ.කන්ද වටේට වංගු වංගු තමයි යන්න වෙන්නෙ.හැබැයි මේ ඇවිල්ල මට හිතෙන විදිය.මොකද හැමෝටම මේ විදිය හිතෙන්නෙ නැහැ.මේ විදියට හිතෙන අයත් ඉන්නවා ඇති.බලමු බලමු ඉදිරියට... 




                     මම ලියන කිසිම දේක කිසිම සම්බන්ධයක්නම් නැතුව ඇති.මගේ බ්ලොග් එක කියවන කිහිප දෙනාගෙන්ම ඉල්ලනවා ඒක ගනන් ගන්න අප කියල.මොකද මට එහෙම දෙයක් හිතෙන්නේ නැහැ.හිතේ තියෙන හැමදේම ලියන්න තමයි මම මගේ බ්ලොග් එක පටන් ගත්තෙ.ඒක වෙනම දෙයක්.හැම කෙනාම හිතනවනම් හැමෝම එක විදියට හොදට ජිවත් වෙන්න ඕනෙ කියල ඒක මේ ලෝකේ තියෙන සබැ නොවෙන එකම හීනය වෙන්න පුළුවන්.ඒ දේ කවදාවත්ම වෙන්නේ නැහැ.ඇත්තටම කියනවනම් එහෙම වෙලත් බැහැ.එහෙම වුනාම මේ ලෝකේ සමබර වෙන්නෙත් නැහැනේ.කව්රුහරි කෙනෙක් කියනවනම් මගේ හිතේ තරහ ඉරිසියාව ලෝබකම නැහැ කියල.ඒක ලොකුම විහිලුව වෙන්නත් පුළුවන්.එහෙම අයත් නැහැ කියනවා නෙවෙයි ඉන්න පුළුවන්.එත් 100 ට 1 වත් ඉන්නව කියල මමනම් හිතන්නෙ නැහැ.අද අපිට ඇහෙන බලන්න තියෙන දේවල් එක්ක එහෙම හිතන්නේ කොහොමද?

                   මට office එකේ ඉන්නෙ හොදම යාලුවෝ දෙන්නයි.ඒ ඇවිල්ල මගේ බොක්ක.අනිත් අයත් යාලුවෝ.එත් ලොකුවට කිට්ටු නැහැ.හැම වෙලාවෙම මාව වැටුනම මට වතුර පොවලා ග්ලුකෝස් කවල ආයෙත් දුවපන් මල්ලි කියල කියන්නෙ ඒ දෙන්න.අදත් මට එක්කෙනෙක් හොදටම බැන්න.බනිනවා කියන්නේ ඉතින් සුද්ද සිංහලෙන්ම තමයි.ඒ ෆිට් එකට මිසක් වෙන දෙකට නෙවෙයි කියල මම දන්නවා.මේ දැනුත් මට එයා බනිනවා.එතන තියෙන සහෝදරකමට වෙන කාටවත්ම කිට්ටු වෙන්නවත් බැහැ.මොකද අපි ඒ තරමට ෆිට්.මේ දේවල් හිතේ තියාගෙන ඉන්නවට වඩා මෙහෙම ලිව්වම හිතට මාර ෆිට්.එහෙනම් මේ පැත්තේ ආයෙ ඇවිත් යන්න එන්න.ජය වේවා....

Sunday, September 29, 2013

වින්දනීය ලෝකයෙන් පැතිකඩක්







නොමියෙන ලෝකයේ මියෙන අතීතය 
වර්මානයේ නොදකින තුන්මන්සල 
කවාකාර ලෝකයේ නොපෙනෙන්නාවූ ද 
වර්මානයේ නිපුණත්වය අනාගතයට ද 

දෑතින් රැගෙන යනු වස් එය 
නොපෙනෙන්නට දෑස් වසා සිටියේනම් 
පියවි ලෝකයේ නොපෙනෙන්නාවූ දෙයක් වීනම් 
පවසන්නාවූ ව්‍යන්ගාර්තය කෙබදුද..

විදීමට නොව විදවන්නන් හට 
ජීවත්වීමේ අයිතිය රැදෙන්නාවූ හුස්ම පොදෙහි 
අවසානය වාතලයට එක්වුකල 
සියලු මතකයන්හි අවසානය දෑතෙහි නොරැදෙනු ඇත 

කවදා ළගාකර දේවිද සිහිනයෙහි වූ කදුළ 
ඉකිගසන්නාවූ දෙසවනින් සවන්දෙන්නා මෙන් 
දුකෙහි සතුට සොයනා හසරැල්ලෙහි
දෝරගලනා ප්‍රේමය තනිකඩබවයි