Tuesday, January 21, 2014

නැවතුමක් නැතුව ..

                ජීවිතේ සමහර දේවල් අමතක කරනව කියල හිතුවට ඇත්තටම අමතක කරන්න බැරි ඇයි කියන්න මම දන්නෙ නැහැ.මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද කියලත් හිතෙනව.ඉස්කෝලෙ දවස් වල මෙහෙම මතක තියාගන්න පුළුවන් කම තිබුනනම් අද අපි මෙතන නැහැ.සමහරවිට හොද තැනක ඉන්න තිබුණ.මේ දවස් වල තියෙන දේශගුණ තත්වෙත් එක්ක අමතක වෙලා තියෙන ගොඩක් දේවල් මතක් වෙන්න ගන්නකොට හරියට පපුව සිදුරු කරල ලේ ගන්නව වගේ.ඒත් තනිවෙන්නෙ නැතුව යාළුවො එක්ක ඉන්නකොට දැනෙන සතුට මාරයි.

                හවසට ගෙදර යනව කියන එකත් වෙලාවකට මරණව වගේ වැඩක්.මට දැන් හුදකලාව ඇති වෙලා.ජීවිතේ මෙහෙම විදවන්න බැහැ.විදින්න තියෙන ජීවිතේ විදවන්න වුනු එක ගැන මම තාමත් ගොඩක් දුක් වෙනව.ඒත් ඒ විදවිල්ල අස්සෙ ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටු වෙනව.මේ කෙටි කාලෙදි මම මටම කියල ලබාගත්තු දේවල් ගැනත් හිතනකොට හීනියට සතුටක් එනව.මොකද මටත් දැන් මගේ නම අගට ජාලකරණයට අදාලව අකුරු හතරක් ගන්න පුළුවන් වුණා.තව ඒ වගේ අකුරු හතරක් මම මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ගන්න තමයි හිතාගෙන ඉන්නෙ.එහෙම පුළුවන් වුනොත් ජීවිතේ තව අඩියක් දෙකක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියල මම හිතනව.


                  වෙච්ච හැම දෙයක්ම අමතක කරල ඉන්න හදනකොට දැකපු එකම එක දෙයකින් මගෙ හැමදේම ගොඩක් වෙනස් වුණා.බොහොම අමාරුවෙන් ගොඩක් මහන්සිවෙලා ඉස්සරහට යන්න හදනකොට ආයෙත් ඒ දේම මට වද දෙනකොට උන්හිටි තැන් අමතක වෙනව.වෙලාවකට හිතෙනව මමම  මගෙන් පලිගන්නවද කියල.ඒ හැමදේම ඉවරයි කියලත් මම දන්නව.ඒත් ඒ දේවල් එහෙම වෙන්න හේතුව තම මම දන්නෙ නැහැ.සෙරෙප්පු කෑලි දෙකක් ගෙන එහෙ මෙහෙ ඇවිදින අපි වගේ එවුන් තව කොච්චරනම් ඇත්ද.සල්ලි කියන්නෙ ජීවිතයම නොවිච්ච මට යටගිය අවුරුදු දෙක තුන ගැන හිතන්නත් අමාරුයි.

                 අහිමිවීම ගැන දුකක් තිබුනට ඒ දුකට වඩා ගොඩක් දේවල් සතුට වෙනුවෙන් තියෙන නිසා දැන් වැඩිය හිතන්න යන්නේ නැහැ ඒ ගැන.කොහොමත් අතීතය බොදවෙලා ගිහින් ඉවරයි.අනාගතය කවදා ඒවිද කියන්න දන්නෙ නැහැ.ඉතින් වර්ථමානයෙ ජීවත් වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.මිනිස්සු කරන හොද නරක ඒ මනුස්සය පස්සෙ පන්නනව කියනවනෙ.තරහක්නම් ඇත්තටම නැහැ ඒත් මම බලාගෙන ඉන්නවා මගෙ අතටත් තුරුම්පු එනකම් කෝට් ගහන්න.තුරුම්පු කවදාවත් නොඑන්නත් පුළුවන්.වෙන්න තියෙන දේ වලක්වන්න බැහැ.

              බුකිය තුල ම ජීවත් වන කාලය බොහොම සීමිත කිරීමට ගත් තීරණය  දැන් අවසන්වී ඇත.රාත්‍රියට බුකියට ගොස් එකෙක් දෙන්නෙක් සමග පොඩි බයිලයක් ගසා ආවම දැනෙන සැහැල්ලුව මට ගොඩක් වටිනව.බ්ලොගයක් පටන් ගන්න හේතු වුනේද මේ දේවල් නිසා.දැනෙන හැමදේම ලියන්න පුළුවන්.මොකද සමහර දේවල් අපිටත් අමතක වෙන්න පුලුවන් නිසා.හේතුවක් දන්නෙ නැති වුනාට සයිබරයෙ වැඩියෙන්ම කොටලා තියෙන්නෙත් විරහව ගැන.ඕව කියවගෙන යනකොට හිතෙනව මටත් මේ දේමද වුනේ කියල.පිස්සු වගේ..

Tuesday, January 14, 2014

හෙට ඉදන් අපිත් උඩින් යනෝ..

                  ඔන්න ඉතින් හෙට ඉදල අපිටත් උඩින් යන්න පුළුවන්.මේ මොකක්ද කියන්න යන්නේ කියල සමහරවිට තේරෙන්නේ නැතුව ඇති.උදේ හවස දුම්රියෙ වේයන්ගොඩ මීරිගම පැත්තෙ ඉදල යන එන කට්ටියනම් දන්නව ඇතිනෙ වේයන්ගොඩ ගුවන් පාලම ගැන.මෙහෙම කියනකොට කෙනෙක්ට හිනා යන්නත් පුළුවන්.ඇත්තටම වේයන්ගොඩට අනිවාර්යෙන්ම ගුවන් පාලමක උවමනාව දැනිල දැන් හුගක් කල්.මොකද කියනවනම් උදේට හවසට පුදුම වාහන තද බදයක් තමයි ටවුන් එකේ තියෙන්නෙ.ලංකාවෙ බොහෝ ප්‍රදේශ වල ඉදල ගුවන් ගත වෙන්න එන බොහෝ පිරිස් වේයන්ගොඩ නගරය හරහා තමයි යන්නෙ.ඒ නිසා සමහර දවස් තියෙනව වාහන එක තැන හෙල්ලෙන්නෙවත් නැහැ.මොකද දුම්රිය හරස් මාර්ගය හරහා ප්‍රධාන මාර්ගය වැටිලා තියෙන නිසා දුම්රිය යනකම් වාහන නවත්තගෙන ඉන්න වෙනව.රේල් ගේට්ටු දෙකක් දෙපැත්තෙ තිබුනට සමහර වාහන එන වේගෙට ඔය රේල් ගේට්ටු කඩාගෙන යන එකත් වේයන්ගොඩට සාමාන්‍ය දෙයක්.මමත් ඒ දේ අත්විදල තියෙනව.



              ඔය ගුවන් පාලම හදන්න පටන් ගන්නකොට එක එක විදියෙ කටකතා පැතිරුණා.සමහර දේවල් කියන්න බැරි තරම් දුරට ඇදිල යනව.කොටින්ම දේශපාලනය හැම තැනටම ගෑවිලා තියේනව කියල තමයි අපිට ආරංචි වුනේ.කොහොම වුනත් පාලම ඉක්මනට හැදුවා.මොකද ඒකත් අර කැළණියේ ගැහුව වගේ යකඩ පාලමක් නිසා.මම දන්නා තරමින් ඔය යකඩ පාලම් වල ආයු කාලය කොන්ක්‍රීට් පාලම් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි.ඒ දේ හොදටම තේරෙනව යකඩ පාලම් උඩින් යනකොට.ඒ පාලම් හෙල්ලෙනකොට ඇගම හීතල වෙනව.ඒත් දවසක් මම කෝච්චියෙ එනකොට එක මත්තයෙක් කියනව මම අහගෙන එහෙම හෙල්ලෙන්නෙ මොකක්ද තාක්ෂනයක්ලු කියල.මොන දේ වුනත් බය හිතෙනව.

               මොන වුනත් අපේ ගමට ලැබුණු පාලමට අපි බැනල වැඩක් නැහැ.මොකද දැන් එක ගලවන්නත් බැහැ.පාලම හදනවට වැඩ ඒක විවුර්ත කරන්න ගිය කාලය වැඩිද මන්ද?ඔන්න ඔය කියන දේ නිසා මිනිස්සු කියන්න ගත්ත පාලම පොඩි කියල අයෙත් ගලවන කතාවකුත් තියෙනව කියල.මොන බොරුද ඔය හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවුර්ත කොරනවා කියන්නෙ.ඒ මොන දේ වුනත් හැමෝම වගේ කියන තවත් කතාවක් තියෙනව ඒ තමයි ගුවන් පාලම නිසා තද බදය අඩු වෙයිද කියන සැකය.ඇත්තටම එක හරි මොකද අරංගල්ල මහත්තයගෙ ඉන්දන පිරවුම් හල ලගින් පටන් ගන්න පාලම අපහු ටවුන් එක මැද්දටම තමයි පතිත වෙන්නෙ.ඒ කියන්නෙ දැන් මැණික් මාලිගාව ලග ලොකු හතරමං හන්දියක් වෙලා.එතනට ට්‍රැෆික් ලයිට් සෙට් කොරල තිබුනට හිතන්න අමාරුයි වෙනසක් වෙයි කියල.

                  දේශපාලනය කතා කොරනව කියලනම් ඔන්න හිතන්න එපා.මොකද අත්තනගල්ල ආසනෙන් තමයි හිටපු ජනාධිපතිනිය බිහිවුනෙත්.හැබැයි වේයන්ගොඩට කරපු දෙයක් නැහැ.ඒ නිසා අපි ජනාධිපතිතුමාට ස්තුති වන්ත වෙනව.හෙට ජනාධිපතිතුමා එන නිසා වේයන්ගොඩ පරණ බස් නැවතුම් පොළ ලග ලස්සනට සරසල එහෙම තියෙනව.ඇත්තටම ලස්සනයි.

           වේයන්ගොඩ අහල පහල ඉන්න එකාලට කියන්නෙ ඔන්න හෙට පාලම විවුර්ත කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් වේයන්ගොඩ නගරසභා පිටියෙ සීදුවේ සකුරා දිගුම් දෙන්න හඩ තලනවලු.එහෙනම් හෙට සෙට් වෙමු..ජය වේවා. 

Thursday, January 9, 2014

අරමුණක් නැති පෝස්ටු..01


              රැයට සොයන උණුහුම දවල්ට ලැබෙන උණුසුම අතරේ කොච්චරනම් වෙනසක් තියෙනවද?එකම එක පොඩි අකුරකින් විතරක් වෙනස් වුනාට මේ වචන දෙකට වෙනස්ම අදහස් තමයි තියෙන්නෙ.කෙනාගෙන් කෙනාට ඒ දිහා බලන විදියත් වෙනස්.ඒ වෙනස එක්කම හිතට දැනෙන අදහස් සමහරවිට අපිටම තේරෙන්නෙ නැහැ.මොකද අපි ඒ තරමටම බොළද වෙලා.යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියනවනෙ.ඉතින් ජීවිත වලට ඒ ඒ වෙලාවල් වලට ලැබෙන්න අවශ්‍ය දේවල් නොලැබෙනකොට මිනිස්සුන්ට දැනෙන දුක කියල නිම කරන්න බැහැ.අපි හිතන පතන හැම දෙයක්ම ඒ විදියට වෙනවනම් අපිත් අද බිල් ගේට්ස් වගේ තමයි.

                      පොඩි දවස් වල ටීචර් අපේ අහනකොට පුතා ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියල අපි හැමෝම ඒ දවස් වල කියන්නෙ දොස්තර කෙනෙක් එහෙමත් නැත්නම් ඉංජිනේරුවෙක් වෙනව කියල.ඒ දේවල්                    මිනිස්සුන්ගේ වාසනාව කියන එක මත සීයට පනහක් විතර රැදිල තියෙනව කියල තමයි මගෙ විශ්වාසෙ.මොකද සීයට සීයක් කියල කිව්වොත් බුදු දහම බොරු වෙනව.තමන්ගෙ මවට , තමන්ගෙ දහමට හා තමන්ගෙ රටට ආදරේ කරන්න කියල කතාවට කියන්නෙ කට කහනවට නෙවෙයි.මව විතරක් නෙවෙයි පියාටත් ඒ හා සමානවම ආදරේ කරන්න ඕනෙ.

                     මේ අවුරුද්දෙ හදහන් බලනකොට ඔන්න රජ වීදියටනම් සරුයි.හැබැයි තාමනම් සරු වුනේ නැහැ.බලමු අපිටත් කවදහරි අවුරුදු එයි කියල හිතෙනව.මේ දවස් වල ඔෆිසිය ගැනනම් කතා කරනකොට කලකිරෙනව වගේම දෙපැත්තෙන්ම හිනත් යනව.මොකද මේ දවස් වල එක සෙට් එකක් ඌරගේ මාළු ඌරගෙ පිටේම තියල කපන්න පටන් අරගෙන.ඒ මදිවට ඒ කපන ඒව විකුනන්න කට්ටිය සැදී පැහැදී ඉන්නව.මොකද ඒ තරමටම මේ ප්‍රශ්නෙ දුරදිග ගිහින් තිබුන නිසා.මනුස්සයෙක් තමන් වැඩ කරන ෆීල්ඩ් එකට සීනියර් වෙන්නෙ එකම තැන දිගටම වැඩ කරන එකෙන් කියල හිතනවනම් මම හිතන්නෙ ඒක හරිම බොරු වැඩක්.මොකද අලුතින් කෙනෙක් වැඩට එන්නෙ ගෙදර පොල් ගගා ඉදල නෙවෙයිනෙ.ඒ මනුස්සයත් තවත් තැන වැඩ කරල පඩි වැඩියෙන් දෙන තැනකට ඇවිත් තියෙනව.ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් නිසා මේ දවස් වල අපේ මණ්ඩලේම කචල් වෙලා තමයි තියෙන්නෙ.මම ඉතින් පොඩි එක නිසා අපි ඔය දෙපැත්තටම වෙලා තැලෙන එක තමයි වෙන්නෙ.

                          අද මේ එක පාරටම මම බොහොම අමාරුවෙන් අමතක කරලයි කියල හිතාගෙන ඉන්න දෙයක් මතක් වුනු නිසා තමයි මේ උණුහුමයි උණුසුමයි ගැන ලියන්න හැදුවේ.අන්තිමට ලියන්න වෙන්නෙ වෙනමම වල් පල්.අලුත් අවුරුද්දට පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන නිසා මම මගෙ නමට අගින් මගෙ නමේ කොටසකුත් සෙට් කලා.

                           දැන්නම් හොදටම නිදිමතයි.මොකද ඊයෙත් ගෙදර එනකොට පාන්දර දෙක හමාරයි.ගියා කාර්නිවල් එකක් බලන්න වතුපිටිවල.උදේ වැඩට යන්න ඇහැරුනෙත් අම්ම කුස්සිය පැත්තෙ දෙහි කපනව ඇහෙනකොට.රැවුල කපන්නෙවත් නැතුව අතරමන් වෙච්ච එකෙක් වගේ තමයි අද ඔෆිසියට බැස්සෙ.ගියගමන් නඩුවක් පාත් වුනු නිසා අද දවල්ට කනකොට හවස තුනට විතර ඇති.අපි එහෙම හරි කනව.දවල්ට කන්නෙ නැතුව දුක් මහන්සියෙන් වැඩ කරන මිනිස්සු අපි අතරෙම කොච්චරනම් ඉන්නවද.මම අහල තියෙනව දැන් අපේ රටට එන සමහර ඇදුම් මහන කොන්ත්‍රාත් ඉන්දියාවට යන්නෙ ඒ රටේ සමහර මිනිස්සු දවසෙ බත් පැකට් එකටත් වැඩ කරනවා කියල.ඉතින් මිනිස්සු කොච්චරනම් පව්ද..

                             නිදාගන්න කලින් තව පොඩි දුක් සීන් එකක් තියෙනව කියන්න.අපේ රටත් දන් විනාස මුක්‍යට ඇවිත් තියෙනව කියන එක සහතික ඇත්ත.මොකද මම කිව්වෙ ඊයෙ කාර්නිවල් එකක් බලන්න ගියා කියල.දැන් කර්නිවල් ඇතුලෙත් බියර් කඩ තියෙනව කට්ටිය දැකල ඇතිනෙ.එක කඩේක මාරම මාර්කටින් පාරක් තමයි තිබුනේ.නැගල යන ඉංගිරිසි හින්දි සිංදු වලට අහිංසක කෙල්ලො දෙතුන් දෙනෙක් මුළු සරුවාන්ගෙම බේරෙන්න කිටක් ගහල අර දෙනෝදහක් ඉස්සරහ නටනව.ඒක බලන්න අපේ හැත්ත බුරුත්ත මී මැස්සො ටික වගේ.මේව මැජික් නෙවෙයි.ඒක ඇත්ත. ඒත් දෙයියනේ අහිංසක අම්මල තත්තලගෙ දරුවොනෙ.කොල්ලො මොකට වටවෙලා බලාගෙන ඉන්නෙ කියන එක අහන්න දෙයක් නෙවෙයිනෙ ඒ නිසා ඒ ගැන මම කියන්න යන්නේ නැහැ.ඔය තිබුණු මාර්කටින් පාරත් එක්ක බියර් කඩේ හිස් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.මොකද බියර් එකක් එහෙම ගහල පොඩි නැටුමකුත් අපේ එකාලට දන්නා පුලුවන්නෙ.කොල්ලො, කෙල්ලො දෙතුන්දෙනා අතරට රිංගනකොට කෙල්ලො ටික හෙමීට එතනින් වාෂ්ප වෙනව.ඇත්තටම ඉතින් නැත්නම් බේරෙන්න බැහැනෙ..

                              දැන් වෙන කරන්න දෙයක් නැහැ මේ විදියට අපිටත් යන්න වෙනව පුතෝ..නැත්නම් අපිත් හැමදාම මෙතනමයි..ඔහොම යං ..  

Wednesday, January 1, 2014

සමනල් හැගුමන් අතරේ..

          මුලින්ම ලැබුවාවූ නව වසර සුභම සුභ නව වසරක් වෙන්න කියල රජ වීදියට යන එන හැමෝටම.අවුරුද්දක් ඉවර වුනා දන්නෙවත් නැහැ.අපහු බලනකොට කරගත්තු දෙයකුත් නැහැ කරපු දෙයකුත් නැහැ.වසරක් පටන් ගන්නකොට අපිට කොච්චරනම් පැතුම් තියෙනවද.ඒ හැමදෙයක්ම හරි යනවනම් අපිට මොනවා කරන්න බැරිද.එහෙම වෙන්නෙ නැති එකනෙ එකම අවුල.මම හිතන්නේ මේක මට විතරක් නෙවෙයි හැමෝටම තියෙන පුරස්නයක්.

        මම ලියන දේවල් හරිම කෙටි දේවල්.මොකද මට එහෙමට ලියන්න දන්නේ නැහැ.ඉතින් අදත් මේ කියන්න යන්නේ අපේ එකෙක්ට වෙච්ච සීන් එකක්.වැඩි ඈතක නෙවෙයි මේක වුනේ. 31 රෑ සුන්දර මීගමු දුබුරු වෙරළ තීරයෙදී තමයි වුනේ.එදා හද රැදි පැය සංගීත සංදර්ශනය වෙලාවෙදි තමයි මේ සීන් එක සෙට් වුනේ.එහෙනම් කතාවට එන්ටර් වෙමු.එන්ටර් වෙන්න දේකුත් නැහැ ඇත්තටම මොකද පටන් ගත්තු ගමන්ම ඉවර වෙයිද මන්ද..

       මෙන්න අගහරුවාදා ඒ කියන්නෙ 2013 වර්ෂයේ අවසාන දිනයෙ දොළහට විතර මට දුරකථන ඇමතුමක් එනව අපේ එකෙක් ගෙන්.මම කලින්ම දැනගත්ත ඉතින් නඩුවක් තමයි කියල.ඕන මගුලක් කියල ගත්ත ෆෝන් එක.

මචෝ අද හවස අපි මීගමු යනව හද රැදි පැය බලන්න.කතන්දරනම් කියන්න එපා වරෙන් එච්චරයි.උබ කොහෙද දැන් ඉන්නෙ කියපන්කො?

       මටත් ඉතින් සංගීත කිව්වම වුන් හිටිතැන් අමතක වෙනව කියල අපේ එවුන් දන්නව.ඉතින් මමත් ඔෆ්ෆිසියෙන් එකට විතර පැන්න.මොකද වැඩ ගොඩක් තිබුනෙත් නැහැ.ගෙදරට එනකොට දෙක හමාර විතර වුණා.හෙට පළවෙනිද නිසා උදේ කෝච්චියෙ පාටියට මම තමයි කේක් බාරගත්තෙ.ඒ නිසා එහෙමම ටවුමට ගිහින් කේක් අරගෙනම ගෙදර ආව.

        කලින් ආවට වැඩක් නැහැ යන්න වෙන්නෙ හතට විතර කියල මෙන්න එකෙක් එවනව කෙටි පණිවිඩයක්.මට නේද ඌරු ජුවල්.අවුලක් නැහැ කියල හිටිය.මොකද කොහොමහරි ෆන් එකක් ගන්න එකනෙ.ඔන්න හතට විතර අපි හතර දෙනෙක් යතුරු පැදි වල ගමනට සෙට් වුනා.අපේ අම්ම බනිනව ඉවරයක් නැහැ.

මුන්ට සංගීත බලන්න යන්න දුර මදිනෙ යකෝ..චූටි පුතේ උබ කීයට ආවත් හෙට උදේ වැඩට යන්න ඕනෙ එච්චරයි.

       යන්තම් ගෙදරින් පැනගෙන බයිසිකල් වලට ඔක්ටේන් 92 තෙල් එහෙම ගහගෙන යන ගමන් එකෙක් මිනුවන්ගොඩින්  බියර් ටින් එකක් ගත්ත බොන්න.අනිත් එවුන් බොනව වුනාට හෙට වැඩට යන්න ඕන නිසා බිව්වෙ නැහැ.කොහොමහරි බීච් එකට අපි එනකොට අටට විතර ඇති.පොඩි අස්සක හොයාගෙන බයිසිකල් දෙක තල්ලු කරල බැස්ස සෙනග අස්සට.බයික් එකේ එන ගමන් අරූ බියර් එක උගුරටත් හොරා බීලා.මම දැන ගත්ත බුවාට ටිකක් විතර වැදුන කියල.අවුලක් නැහැ මොකද එච්චරම චාටර් නැති නිසා.

        බලන්න එපෑ අලුත් අවුරුද්දක් එනවටද මන්ද කට්ටිය නටන නැටුම්.එක එකා එක එක විදිය.අපිත් දැන් මැද්දට පැනල නටනව.සමනළියො වැහි වැහැල.දකිනකොටත් සර්වාන්ගෙම සීතල වෙලා යනව.ඔහොම පැයක් විතර අපි නැටුව.දන්නෙම නැහැ අර බියර් එක ගහපු එකා අතුරුදහන්.ෆෝන් එකට ගත්ත ගත්ත මේක නෙවෙයි උස්සන්නෙ.දැන් කට්ටිය දෙලෝ රත් වෙලා.ඇත්තටම හීන් දාඩිය දැම්ම.


       කොහේ ඉදලද මන්ද එක පාරට මේක මතු වුණා.එක සෙරෙප්පුවකුත් දාගෙන අනික අතට දාගෙන හොදටම හති දානව.හරියට නාකි බල්ලො කොළබ යනවා වගේ.දැන් අපිට මල..

තෝ කොහෙද බොල ගියෙ.තොට බැයිද ෆෝන් එකට ආන්සර් කරන්න.

මොන ෆෝන්ද බං.මමත් බොහොම අමාරුවෙන් බේරිලා ආවෙ.

ඇයි තොට යකෙක් ගැහුවද?

යකෙක් ගැහුවනම් දුක නැහැ බන්..මේක සමනලයෙක්..

              මටනම් කියනකොටම මීටර් වුන මේක මොකක්ද මේ කියන්නෙ කියල.මට හිනාව නවත්තගන්න විදියක් නැහැ.තාමත් මතක් වෙනකොට හිනා යනව යකෝ.අද උදේ පාන්දර කෝල් කොරල අවුරුද්දට සුබ පතනකොටත් ඕක කියලම තමයි මම සුභ පැතුවෙ.මුටත් හිනා වෙච්ච දේට.

         ඇත්තටම ඒ සමනලය ඇත්තටම සමනලියක් වගේමයි.අංගෝපාංග අඩුවක් නැතුව තියෙන නිසා අපිත් හිතුවෙ සමනලියක් කියල.කොහොමහරි නටන ගමන් මේකව අපේ එකට සෙට් වෙලා වෙරි මර ගාතෙ ආතල් එක වැඩි කමට ඇරූගෙ පස්සෙන් අපේ එකත් ගිහින්.දෙන්න ලං වුනාට පස්සෙ තමයි අපේ එකාට වැඩේ මීටර් වෙලා තියෙන්නෙ.කොහොමහරි අන්තිමට මේක සමනල්ලු රෑනකින් තමයි බේරිලා ඇවිත් තිබුනෙ.අන්තිමට අපේ එකාම කියනව 

මචෝ මම බය වුනු බයවිල්ලට බියර් එකට තිබුණු කික් එකත් නැතුව ගියා..